විට්ස් කාර් එකක් ලක්ෂ 12කට ලබා දෙන බවට වත්මන් රජයේ මැති ඇමතිවරු පසුගිය මැතිවරණ සමයේ පොරොන්දු වුවත් අද වන විට වාහන මත අමතර 50%ක බද්දක් පැනවීමට රජය කටයුතු කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
මෙම බදු පැනවීම නිසා වාහනවල මිල ඉහළ නොයන බවට මුදල් නියෝජ්‍ය ඇමතිවරයා කියා සිටින බවත් මෙවැනි විහිළු සහගත කතා රටට ඉදිරිපත් නොකර ජනතාවගේ පැත්තෙන් ආර්ථිකය විධිමත් ලෙස කළමනාකරණය කරන්නට කටයුතු කළ යුතු බව ද විපක්ෂ නායකවරයා පැවසීය.
එමෙන්ම ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙහි වගකීම ජනාධිපතිවරයා ප්රමුඛ රජයේ සහ රජයේ මන්ත්‍රීවරුන් 159දෙනාගේ වන බවය.
තිස්සමහාරාම වීරවිල පන්නෙගමුවේ දියබැදි විහාරයේ දී අංජලීපව්ව රජාමහා විහාරය, පන්නගමුව දියබැදි විහාරය,අකුරුගොඩ ශ්‍රී මංගලාරාම යන විහාරයන්හි විහාරාධිපති ලෙස කටයුතු කරන සිරි සුනන්ද වංශාවතංස සද්ධර්ම කීර්ති ශ්‍රී රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද මාගම මහානාම ස්වාමීන් වහන්සේ බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේය.
වාර්තගත ලෙස රුපියල අවප්‍රමණය වෙමින් රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව ශීඝ්‍රගාමී ලෙස පහත වැටෙමින් පවතින බවත් මේ රුපියල අවප්‍රමාණය වීම තුළ උද්ධමනය වැඩි වි, බඩු මිල වැඩි වී වියදම් හා පිරිවැය වැඩි වී සමස්ත ජන ජීවිතය කඩා වැටෙමින් තිබෙන බවත් මෙහිදී ඔහු සඳහන් කළේය.
එමෙන්ම මෙම රුපියල අවප්‍රමාණය වීම වළක්වා ගැනිමට නම් අපනයන ආදායම වර්ධනය කර ගැනීමටත් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමටත් රටට ලැබෙන විදේශ ප්‍රේෂණ වර්ධනය කර ගන්නවා සේම සෘජු විදේශ ආයෝජන වර්ධනය කර ගත යුතු බවත් මෙම කාර්යයන් සිදු නොකර ආර්ථිකය හරියාකාරව සකස් කර ගත නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එහිදී ඔහු අවධාරණය කර සිටියේ වත්මන් ජනාධිපතිවරයා, මුදල් ඇමතිවරයා සහ රජය ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ ආර්ථික විද්‍යාව ගැන මූලික අවබෝධයක් හෝ දැනුමක් නොමැති බවත් දවසින් දවස වැරදි ආර්ථික තීන්දු තීරණ ගැනිම නිසා අප රටේ ජනතාවට විශාල හානියක් සිදුවන බවත් ය.
එසේම විදේශ සංචිත ශක්තිමත් තැනකට තබා ගත යුතු බවත් රජය IMF සමඟ සාකච්ඡා කර ණය ගෙවීමේ නව ගිවිසුමකට නොයෑම නිසා මේ ගැටලු මැද ඇ.ඩොලර් බිලියන ගණනක ණයක් වාර්ෂිකව ගෙවීමට ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඒ හේතුවෙන් රුපියල අවප්‍රමාණය වීම කළමනාකරණය කර ගන්නවා සේම ජනතාවට ජීවත් වීමට උපරිම ශක්තිය ප්‍රතිපාදන හා රාජ්‍ය මැදිහත්වීම ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහිදී සඳහන් කර සිටියේය.








