හිටපු ඇමති ලක්ෂ්මන් යාපා ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීමට දින දෙයි

අල්ලස් කොමිසම විසින් තමන්ට එරෙහිව දූෂණ චෝදනා යටතේ ගොනුකර තිබෙන නඩුවක් ඉවත දමන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා විසින් ඉදිරිපත් කර තිබෙන අභියාචනා පෙත්සමක් කරුණු තහවුරු කිරීම සඳහා සැප්තැම්බර් මස 07 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම අද (15) අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා සැප්තැම්බර් මස 07  වනදා කැඳවන ලෙස නියම කළේය. 

පෙත්සම්කාර හිටපු අමාත්‍යවරයා සඳහන් කරනුයේ දූෂණ චෝදනා යටතේ අල්ලස් කොමිසම විසින් තමන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනුකර ඇති බවය. 

එම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට තම නීතිඥයින් මූලික විරෝධතා මතු කළත් මූලික විරෝධතා මහාධිකරණ විසින් ප්‍රතික්ෂේප කළ බවත් පෙත්සම්කරු අදාළ පෙත්සම මගින් සඳහන් කර තිබේ. 

මහාධිකරණයේ එම තීරණය නීතියට පටහැනි බවත් තමන්ට එරෙහිව ගොනුකර තිබෙන නඩුව ඉවත දැමීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා ඇත.