ගතවූ පැය 24 තුළ වැඩිම වැස්ස අවිස්සාවේල්ලට

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අද (15) පෙ.ව. 5න් අවසන් වූ ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.

වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ) ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර මහතා පවසා සිටියේ, එම අගය මි.මී. 180ක් බවය.

ඊට අමතරව හංවැල්ලට මි.මී. 158ක් සහ දැරණියගලට මි.මී. 122ක් ලෙස වර්ෂාපතනය ලැබී ඇත.

කැලණි ගඟේ ජල මට්ටම මේ හේතුවෙන් ඊයේ රාත්‍රියේ සිට වැඩිවීමක් සිදුවුවද, තවමත් එය අනතුරු ඇඟවීමේ මට්ටමට ළඟාවී නොමැත.

එමෙන්ම අත්තනගලු ඔයේ දූනමලේ මිනුම් මධ්‍යස්ථානය සහ අවට ප්‍රදේශවලට ද මිලිමීටර් 176ක වර්ෂාපතනයක් ලැබී තිබේ.

මේ අතර ගිරිඋල්ල ප්‍රදේශයට ඊයේ මි.මී. 172ක වර්ෂාපතනයක් ලැබී ඇති අතර, ඒ හේතුවෙන් මා ඔයේ ජල මට්ටම ඉහළගොස් ඇත.

ඒ අනුව ගිරිඋල්ල සහ බඩල්ගම ප්‍රදේශයන්හි ජල මට්ටම මේ වනවිට ඉහළගොස් ඇති වුවත්, තවමත් ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී නොමැත.

මීට අමතරව ගිං ගඟ, නිල්වලා ගඟ සහ කළු ගඟ ප්‍රදේශවලට මි.මී. 50ත් 100ත් අතර වර්ෂාපතනයක් ලැබී ඇති බවත් සූරියබණ්ඩාර මහතා පැවසීය.

සමස්තයක් ලෙස දිවයින පුරා බොහෝ ප්‍රදේශවලට දැඩි  වර්ෂාපතනය ලැබී ඇති අතර, මේ හේතුවෙන් ගංගා ද්‍රෝණි කිහිපයකම ජල මට්ටම් සැලකිය යුතු ලෙස ඉහළ යාමක් වාර්තා වී ඇත.

අද දිනයේද තෙත් කලාපයට බරව වැසි ලැබීමේ ප්‍රවණතාවක් පවතින බවත්, ගංගා ආශ්‍රිතව සහ පහත් බිම්වල වෙසෙන ජනතාව දැඩි අවධානයෙන් පසුවිය යුතු බව එල්.එස්. සූරියබණ්ඩාර මහතා පැවසීය.

ඒ අනුව ක්ෂණිකව ඇතිවිය හැකි ජල මට්ටම් ඉහළ යාම් පිළිබඳ සැලකිලිමත් වන ලෙසත්, රජය මගින් වරින් වර නිකුත් කරන නිල නිවේදන කෙරෙහි අවධානය යොමු කරන ලෙසත් හෙතෙම ජනතාවගෙන් ඉල්ලා සිටී.