තේ කර්මාන්තය හා ඊට ආශ්‍රිතව සේවයේ නිරත ශ්‍රමිකයන් සඳහා නව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් හඳුන්වාදීමට සැලසුම් කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන, කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය හා වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමට නියමිත බව සඳහන් වේ.
මෙම යෝජනා ක්‍රමය යටතේ තේ වතු සහ තේ කර්මාන්ත ශාලා ආශ්‍රිතව සේවය කරන ශ්‍රමිකයන්ට සම්බන්ධ විය හැකි අතර, දායකයාගේ මූල්‍ය හැකියාව අනුව වාරික තෝරාගැනීමේ අවස්ථාවද ලබාදී ඇත.
ඒ අනුව, වයස අවුරුදු 18 දී මෙම යෝජනා ක්‍රමයට සම්බන්ධ වන පුද්ගලයෙකු කාර්තුවකට රුපියල් 600ක දායක මුදලක් ගෙවන්නේ නම්, වයස අවුරුදු 60 සම්පූර්ණ වන විට මාසිකව රුපියල් 5,000ක විශ්‍රාම වැටුපක් ලබා ගැනීමට හැකිවේ.
එසේම, ගෙවනු ලබන වාරික ප්‍රමාණය අනුව රුපියල් 15,000, 20,000, 25,000 හෝ ඊට වැඩි මාසික විශ්‍රාම වැටුප් ලබාගැනීමේ හැකියාවද පවතින අතර, ඕනෑම අවස්ථාවක දායක මුදල වැඩිකර තම විශ්‍රාම ප්රතිලාභ ඉහළ නංවාගැනීමටද අවස්ථාව සලසා ඇත.
තවද, විශ්‍රාම වැටුප් ලබාගැනීමට පෙර දායකයා හදිසි අනතුරක් හේතුවෙන් පූර්ණ හෝ අර්ධ අබලතාවයකට පත්වීමක් හෝ මරණයක් සිදුවුවහොත් ජීවිත රක්ෂණ වන්දි මුදල් ලබාගැනීමේ හැකියාවද මෙම යෝජනා ක්‍රමය යටතේ පවතී.
එමෙන්ම විශ්‍රාම වැටුප් ලබමින් සිටියදී දායකයා මියගියහොත්, ඔහුගේ කලත්‍රයාටද එම ප්රතිලාභ හිමිවන බව සඳහන් වේ.
මෙම යෝජනා ක්රමයේ ප්‍රධාන අරමුණ වන්නේ තේ කර්මාන්තය ආශ්රිත ශ්‍රමිකයන්ට ගතේ සවිය නැතිදා ඔවුන්ගේ ජීවිතය සුරක්ෂිත කිරීම මෙම රක්ෂණ යෝජනා ක්රමයේ ප්‍රධාන අරමුණ බව අදාළ නිලධාරීන් පෙන්වා දෙයි.








