උණ රෝගයක් හේතුවෙන් වසා දැමුණු දෙනියායේ පාසල් හෙට සිට නැවත ඇරඹෙයි

උණරෝගයක් පැතිර යාම හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු දෙනියාය අධ්‍යාපන කලාපයේ පාසල් හෙට (13) දිනයේ සිට නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

දකුණු පළාත් අධ්‍යාපන ලේකම් නිශාන්ත පතිරණ මහතා සඳහන් කළේ දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) පැවති සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන ඇති බවය.

පාසල් ළමුන් අතර උණ රෝගී තත්ත්වයක් පැතිර යාම හේතුවෙන් දෙනියාය අධ්‍යාපන කලාපයේ පාසල් 4ක් පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ සිට තාවකාලිකව වසා දැමුණි.

එම පාසල්වල ළමුන් 56දෙනෙකු පමණ මෙම උණ රෝගී තත්ත්වයට ලක්ව සිටි බව ද සෞඛ්‍ය අංශ සදහන් කළේය.

අදාළ පාසල්වල සෞඛ්‍යාරක්ෂිත පරිසරයක් මේ වන විට නිර්මාණය කර ඇති අතර ජලය භාවිතා කිරීමේ දී වැඩි අවධානයක් යොමුකරන ලෙස උපදෙස් ලබාදී ඇති බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.