ඉතිහාසය වෙනස් කළ සොයාගැනීමක්

1996 වසරේදී චීනයෙන් හමුවූ සුවිශේෂී පොසිලයක් හරහා ඩයිනසෝරයන් පිළිබඳ එතෙක් පැවති මතයන් සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට විද්‍යාඥයන් සමත්ව තිබේ.

පිහාටු සහිත ඩයිනසෝරයෙකු පිළිබඳ ලොව ප්‍රථම ස්ථිර සාක්ෂිය ලෙස මෙම පොසිලය ඉතිහාසයට එක්වන බව සඳහන් වේ.

මෙම සොයාගැනීමට පෙර, ඇතැම් පාෂාණධාතු විද්‍යාඥයන් (Palaeontologists) විසින් ඩයිනසෝරයන්ගෙන් පක්ෂීන් පරිණාමය වූ බවට අනුමාන කළද, ඒ සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම හේතුවෙන් එය මතභේදාත්මක කරුණක් ලෙස පැවතුණි. කෙසේ වෙතත්, මෙම චීන පොසිලය හමුවීමත් සමඟ ඩයිනසෝරයන්ට පිහාටු තිබූ බවට වූ මතය තහවුරු විය.

ප්‍රකට කැනේඩියානු පාෂාණධාතු විද්‍යාඥ Philip Currie මෙම සුවිශේෂී පොසිලය පරීක්ෂා කිරීමට අවස්ථාව ලැබුණු මුල්ම විද්‍යාඥයෙකි. ඔහු පවසන පරිදි, එකල බටහිර පර්යේෂකයන්ට චීනයට ගොස් මෙවැනි පරීක්ෂණ සිදු කිරීම අතිශය අභියෝගාත්මක කටයුත්තක් විය.

“මෙම සොයාගැනීම මුළු විද්‍යා ලෝකයම උඩුයටිකුරු කළා. ඩයිනසෝරයන් සහ පක්ෂීන් අතර ඇති සම්බන්ධය මින් මනාව තහවුරු වුණා,” යැයි විද්‍යාඥ කරී සඳහන් කර ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි.