පොදු ප්‍රවාහනයේ යෙදෙන රියදුරන් ඉලක්ක කරගත් විශේෂ අන්තරායකර මත්ද්‍රව්‍ය පරීක්ෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
අමාත්‍යාංශය පැවසුවේ පොදු ප්‍රවාහනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ මගී ජනතාවගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවය.
විෂයභාර අමත්‍ය බිමල් රත්නායක මහතාගේ සංකල්පයකට අනුව ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ සකස් කෙරෙන මාර්ග ආරක්ෂණ සැලැස්ම යටතේ ක්‍රියාවට නැංවෙන මෙම ක්‍රියාවලියේ තවත් එක් පියවරක් අද (12) පෙරවරුවේ කඩවත බස් නැවතුම්පොළ භූමියේදී ක්‍රියාත්මක කෙරෙිණි.
මෙම අහඹු පරීක්ෂණ වෙනුවෙන් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ලයනල් මුහන්දිරම්ගේ මහතා ප්රමුඛ කණ්ඩායමක් සහභාගී වූ අතර එම ආයතනයේ ජංගම පරීක්ෂණාගාර බස් රථය තුළ මෙම පරීක්ෂණ සිදු කෙරිණි.
මෙම පරීක්ෂණය සඳහා කඩවත බස් නැවතුම්පොළේ ගාල් කෙරෙන බස් රථවල රියදුරන් සහ රිය සහායකයින් 148 දෙනෙකු පමණ යොමු කර තිබූ අතර ඉන් 07 දෙනෙකු අන්තරායකර ඖෂධ භාවිත කර ඇති බවට තහවුරු විය.
පසුගිය කාලසීමාව තුළ සිදුවූ රිය අනතුරු සහ මාර්ග විනය පිරීහීමට බලපා තිබෙන හේතු සාධක සැලකිල්ලට ගනිමින් අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොර විනයගරුක රියදුරු පිරිසක් බිහි කිරීම මෙම වැඩසටහනේ මූලික අපේක්ෂාව බව වෛද්‍ය ලයනල් මුහන්දිරම්ගේ මහතා මෙහිදී අවධාරණය කළේය.
තවද ප්‍රවාහන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලීසිය සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ පූර්ණ සහාය ඇතිව ක්‍රියාත්මක වන මෙම වැඩසටහන සඳහා ජංගම බස් රථයක් ද සූදානම් කර ඇති බවත් මගීන්, පදිකයින් මෙන්ම රියදුරන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් මෙම වැඩසටහන දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
එසේම මෙම පරීක්ෂණ තුලින් අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිත කළ රියදුරන් හඳුනාගතහොත් ඔවුන්ට ආයතනික නීති පද්ධතිය යටතේ උපරිම දඬුවම් ලබා දීමටත් රටේ පොදු නීතිය යටතේ ද නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු සූදානම් කර තිබේ.








