ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩුපීඩන කලාපය දිවයින ආසන්න මුහුදු ප්‍රදේශයේ තවදුරටත් පවතී.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි සහිත තත්ත්වය ඉදිරි දින කිහිපය තුළත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති අතර විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී.100ට වැඩි තද වැසි ඇති විය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් ඉදිරි දිනවලදී දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය වැඩිවිය හැකිය.
මේ සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සුළං බස්නාහිර දිශාවෙන් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. 25-35පමණ වේ.
ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 පමණ දක්වා ඉහළ යා හැකිය.
ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මඳ වශයෙන් රළු විය හැක.








