ඉදිරියේදීත් වැසි තත්ත්වයේ වැඩි වීමක් – ආපදා කළමනාකරණ අංශත් සූදානමින්

ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා පවසයි.

අද (10) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ඉදිරි කාලගුණ තත්ත්වයන් පිළිබඳව දැනුවත් කිරිමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

පසුගිය දින කිහිපය මෙන්ම ඉදිරි දින කිහිපයද වැසි ලැබෙමින් පවතින බවත් හෙට (11) දිනයේදී පවතින පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමට හැකියාවක් පවතින බවද ඒ මහතා පැවසීය.

පවතින මෙම තත්ත්වය මෝසම් තත්ත්වයක් නොව පෙර මෝසම් තත්ත්වයක් බව පෙන්වා දුන් ඒ මහතා මෙම අඩුපීඩන කලාපය සහ එහි වර්ධනයෙන් පසු මැයි මස 20 වැනි දින වන විට මෝසම් තත්ත්වය නිර්මාණය වී ඊට අදාළ කාලගුණ විපර්යාස සිදුවනු ඇති බවද සඳහන් කළේය.

“නායගිය ස්ථාන යළි සක්‍රීය විය හැකියි”
– ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය 

එමෙන්ම මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා පැවසුවේ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානි වූ ප්‍රදේශ තවමත් ඒ ආකාරයෙන්ම පවතින බැවින් පස් කණ්ඩි සොදා පාළුවට ලක්වෙමින් විශාල ප්‍රමාණයේ සහ මධ්‍ය ප්‍රමාණයේ ගල් මතුව ඇති බවත් ඉතා කුඩා වර්ෂාපතනයකදී වුවද එම ගල් නැවත පෙරළීමටද හැකියාවක් පවතින බවය.

මේ හේතුවෙන් නායයෑමේ ඇතිවිය හැකි ලක්ෂණ පවතින බැවින් සක්‍රීය වී මේ වන විට අක්‍රීය වී ඇති ස්ථානද පවතින බවත් පෙන්වා දුන් ඒ මහතා ඉදිරියේදී ලැබෙන වර්ෂාපතනයත් සමග එම ස්ථාන සක්‍රීය වීමේ හැකියාවක් පවතින බවද පෙන්වා දුන්නේය.

එමෙන්ම පවතින වර්ෂාපතනය සැලකිල්ලට ගෙන මේ වන විට බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සහ මොනරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර සහ වැල්ලවාය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත අදියර 01 යටතේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවත් වසන්ත සේනාධීර මහතා මෙහිදී සඳහන් කළේය.

“ජලාශ ආශ්‍රිතව ජීවත්වන ජනතාව අවධානයෙන් කටයුතු කරන්න”
– වාරිමාර්ග දෙපාර්තමේන්තුව 

මේ අතර මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු ජල විද්‍යා අංශයේ චාමර යාපාආරච්චි මහතා පැවසුවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන අනතුරු ඇඟවීමේ නිවේදන මත පදනම්ව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ආපදා කළමනාකරණ අංශය සහ ජල විද්‍යා කළමනාකරණ අංශය ඇතිවිය හැකි ආපදා තත්ත්වය සම්බන්ධව විශේෂ අවධානයකින් යුතුව කටයුතු කරන බවය.

මේ වන විට වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව ඇති ප්‍රධාන ජලාශ 9ක් සහ මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 05ක් මේ වනවිට වාන් දමමින් පවතින බවත් ඒ මහතා මෙහිදී පැවසීය.

එමෙන්ම මේ වන විට ලැබී ඇති වර්ෂාපතනය අනුව ගංගාවල ජල මට්ටම් යම් වැඩිවීමක් පෙන්නුම් කරන බවත් පැවසූ ඒ මහතා කෙසේ නමුත් මෙම තත්ත්වය අනතුරුදායක මට්ටමක් දක්වා පැමිණ නැති බවද සඳහන් කළේය.

කෙසේ නමුත් කිරිඳිඔය, වලවේ, දැදුරුඔය, මල්වතු ඔය, කැලණි, කළු යන ජලාශවල ජල මට්ටම් අනතුරුදායක මට්ටම දක්වා නොමැති වුවත් යම් වැඩි වීමක් පෙන්නුම් කර ඇති බවත් පැවසූ ඒ මහතා එම ප්‍රදේශ ආශ්‍රිතව ජීවත්වන ජනතාව මේ පිළිබඳව අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙසද දැනුවත් කිරීමක්ද සිදුකරනු ලැබීය.

හදිසි තත්ත්වයකදී ක්ෂණික දුරකථන අංක සමග සම්බන්ධ වෙන්න
 – ආපදා කළමනාකරණ අංශය

ආපදා කළමනාකරණ අංශය දිස්ත්‍රික්ක 25 පුරාවටම ක්‍රියාත්මක වන බැවින් පසුගිය 8 වැනි දින දිස්ත්‍රික්ක 25ම අංශ සම්බන්ධීකරණය කරගනිමින් ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වයන් පිළබඳව සාකච්ඡා කර ඇති බව ආපදා කළමනාකරණ අංශය පවසයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ මේ වන විට ප්‍රජා මූලික වැඩසටහන්වලට මූලිකත්වය දෙමින් ගංගා ද්‍රෝණි සහ නාය යෑම් අවධානම් ස්ථානවල පදිංචි ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කර ඇති බවය.

නායයෑම් ලක්ෂණ පිළිබඳව නිරන්තර දැනුවත් වන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කළ ඒ මහතා ආපදා කළමනාකරණ අංශය විසින් හඳුන්වා දී ඇති 117 හදිසි දුරකථන අංකය හෝ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ අංශය සමග සම්බන්ධ විය හැකි බවද සඳහන් කළේය.