ආදිවාසී ජන උරුමය සුරැකිව තබාගත් රතුගල ආදිවාසි නායක සුදාවන්නිලැත්තෝ

ශ්‍රී ලාංකේය ආදිවාසී අනන්‍යතාවයේ නොමැකෙන සලකුණක් තැබූ, රතුගල ආදිවාසී ගම්මානයේ නායකයා පසුගියදා අභාවප්‍රාප්ත විය.

රෝගී තත්ත්වයක් හේතුවෙන් වැලිසර ලය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ සුදාවන්නිලැත්තන් මියයන විට 66 වැනි වියේ පසුවිය.

ඔහු දරුවන් සිව්දෙනෙකුගේ පියෙකි.

තම උරුමය රැකගැනීම වෙනුවෙන් දැඩි උත්සාහයක නිරත වූ රතුගල ආදිවාසී නායකයා 2016 වසරේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පැමිණ ජනතා නියෝජිතයින් හමුවී සිය වර්ගයාගේ උරුමය සුරක්ෂා කිරීම වෙනුවෙන් හඬ නැගූ අයෙකි.

ආදීවාසී නායකයාගේ අවසන් කටයුතු අද (08) දිවයිනේ සෙසු ප්‍රදේශවල වෙසෙන ආදිවාසී නායකයින් සහ නෑදෑ හිතවතුන් විශාල පිරිසක් සහභාගීතවයෙන් සිදු කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ ආදිවාසී ප්‍රජාව, විශේෂයෙන්ම රතුගල වැදි ජනතාව මරණයකදී අනුගමනය කරන චාරිත්‍ර නූතන සමාජයට වඩා බෙහෙවින් වෙනස්ය.

කෙසේවෙතත් ඔහුගේ අභාවයත් සමඟ, ලෝකයෙන් වැසී ගිය දුර්ලභ ආදිවාසී අවමංගල්‍ය චාරිත්‍ර කිහිපයක් පිළිබඳව මේ වන විට සමාජයේ දැඩි අවධානයක් යොමුව තිබේ.