දියේ ගිලීම් අනතුරු වළක්වා ගැනීමට ජාතික යාන්ත්‍රණයක්

දියේ ගිලීමෙන් සිදුවන අනතුරු වළක්වා ගැනීම සහ ජීවිතාරක්ෂක කටයුතු ශක්තිමත් කිරීම සඳහා ජාතික මට්ටමේ ඒකාබද්ධ යාන්ත්‍රණයක් සකස් කිරීම පිළිබඳ මූලික ඉහළ මට්ටමේ සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.

පසුගිය  07 වනදා එම සාකච්ඡාව පැවැති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

දිවයින පුරා දියේ ගිලීමෙන් සිදුවන ජීවිත හානි අවම කිරීම සහ මහජන ආරක්ෂාව ඉහළ නැංවීම සඳහා බහු අංශ සම්බන්ධ කරගත් ඒකාබද්ධ වැඩපිළිවෙළක් නිර්මාණය කිරීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ විය.

මෙම සාකච්ඡාවට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න සහ තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක යන මහත්වරුන්ගේ සභාපතිත්වය හිමි විය.

සාකච්ඡාව අමතමින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, දියේ ගිලීමෙන් සිදුවන ජීවිත හානි සමාජීය ගැටලුවක් පමණක් නොව, මහජන ආරක්ෂාව සහ ජාතික ආරක්ෂාව සම්බන්ධ තීරණාත්මක කාරණයක් බවයි. ව්‍යුහාත්මක ආරක්ෂක යාන්ත්‍රණයක් නොමැති වීම ජාතික අවශ්‍යතා සඳහා බරපතළ අවදානමක් බවද ඔහු අවධාරණය කළේය.

එහිදී අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා ජල ආරක්ෂාව පිළිබඳ දැනුවත්භාවය ජාතික පාසල් විෂය මාලාවට ඇතුළත් කළ යුතු බව යෝජනා කළ අතර, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා විශේෂ පුහුණු වැඩසටහන් ඔස්සේ තරුණ තරුණියන් සම්බන්ධ කර ගනිමින් ස්වේච්ඡා ජීවිතාරක්ෂක ජාලයක් නිර්මාණය කළ යුතු බව පෙන්වා දුන්නේය.

මෙම යෝජිත ජාතික යාන්ත්‍රණය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලිසිය සහ ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය ඇතුළු ආයතන නියෝජනය කරමින් ඉහළ පෙළේ නිලධාරීන් සහ විශේෂඥයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.