විගණන සේවා කොමිෂන් සභාවේ‍ නව සාමාජිකයන් රහස්‍යතාව පිළිබඳ දිවුරුම ලබා දෙති

විගණන සේවා කොමිෂන් සභාවට පත් කරන ලද නව සාමාජිකයන් සිවු දෙනෙක් ඊයේ (04) පාර්ලිමේන්තුවේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ රහස්‍යතාව පිළිබඳ දිවුරුම ලබා දුන්හ.

මෙලෙස දිවුරුම් දෙනු ලැබුවේ, හිටපු විගණකාධිපති ගාමිණි විජේසිංහ, හිටපු නියෝජ්‍ය විගණකාධිපති ජී. තේවඥානන්, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු නිහාල් සුනිල් රාජපක්ෂ සහ රාජ්‍ය සේවයේ විශ්‍රාමික නිලධාරියෙකු වන රත්න දේශප්‍රිය යන මහත්වරුන්ය.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 9 වැනි වගන්තිය ප්‍රකාරව, අධිකරණයක් හෝ පාර්ලිමේන්තුව නියම කරනු ලබන අවස්ථාවකදී හෝ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 9 (අ) වගන්තියට යටත්ව යම් ලිඛිත නීතියක් යටතේ නිශ්චිතව දක්වා ඇති විටකදී හැර විගණනයට අදාළ තොරතුරු රජයේ හෝ පෞද්ගලික අංශයේ කවර තැනැත්තෙකුට කවර හෝ ආකාරයෙන් හෙළිදරව් නොකරන බවටත් සාකච්ඡා හෝ ප්‍රකාශ කිරීම සිදු නොකරන බවටත් දිවුරුම්දීම සිදුකළ යුතු වේ.