අමෙරිකාවට සහ ඉරානයට ගිනි ඇවිලූ යුරේනියම්

යුරේනියම් යනු පෘථිවි පෘෂ්ඨයේ ස්වභාවිකව හමුවන, රිදී-අළු පැහැති බර ලෝහයකි.

එහි ඇති විශේෂත්වය වන්නේ ඉන් පිටවන විකිරණශීලී ශක්තියයි.

න්‍යෂ්ටික විඛණ්ඩනය (Nuclear Fission) එනම් යුරේනියම් පරමාණුවක් බිඳීමේදී අතිවිශාල තාප ශක්තියක් නිකුත් වේ.

ස්වභාවික යුරේනියම් සෘජුවම භාවිතා කළ නොහැකිය. එහි ඇති ‘U-235’ අගය වැඩි කිරීම මෙම ක්‍රියාවලිය මඟින් සිදුකෙරේ. මෙහි ප්‍රතිශතය අනුව එය විදුලිය නිපදවීමට හෝ ආයුධ සෑදීමට යොදාගත හැක.

ඉරානය යුරේනියම් භාවිතා කරන්නේ ඇයි?

ඉරානය යුරේනියම් භාවිතා කිරීම ලෝක දේශපාලනයේ දැඩි කතාබහට ලක්වන මාතෘකාවකි.
මෙහි ප්‍රධාන පැති දෙකක් දැක්විය හැකිය.

1. ඉරානයේ නිල ප්‍රකාශය වන්නේ එය සාමකාමී අවශ්‍යතා සඳහා භාවිතා කරන බවය.

ඔවුන් පවසන්නේ තමන් යුරේනියම් භාවිතා කරන්නේ සිවිල් අවශ්‍යතා සඳහා පමණක් බවටය.

තෙල් සහ ගෑස් සංචිත අපනයනය සඳහා ඉතිරි කරගනිමින්, රටේ විදුලි අවශ්‍යතාවය සඳහා න්‍යෂ්ටික බලශක්තිය යොදා ගැනීම සිදුකරන බව ඔවුන් පවසයි.

එමෙන්ම පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ද අවශ්‍ය විකිරණශීලී ඖෂධ නිපදවීම සඳහා ඔවුන් මෙය යොදා ගන්නා බව සඳහන් කරයි.

තාක්ෂණික දියුණුවත් සමඟ නවීන විද්‍යාව අතින් කලාපීය බලවතෙකු වීම ද ඔවුන් ගේ එක් අරමුණක් බව කිව හැකිය.

2. කෙසේ වෙතත් ජාත්‍යන්තර සැකය වන්නේ ඉරානය යුරේනියම් භාවිතා කරන්නේ න්‍යෂ්ටික ආයුධ නිෂ්පාදනයට බවය.

බොහෝ බටහිර රටවල් සහ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) සැක කරන්නේ ඉරානය රහසිගතව න්‍යෂ්ටික බෝම්බ නිපදවීමට උත්සාහ කරන බවය. මීට හේතු කිහිපයක් ඔවුන් සඳහන් කරයි.

ඉරානය යුරේනියම් 60% දක්වා පිරිපහදු කර ඇත. සාමාන්‍ය විදුලි බලාගාරයකට අවශ්‍ය වන්නේ 3%–5% මට්ටමකි. 60% යනු න්‍යෂ්ටික ආයුධයකට අවශ්‍ය 90% මට්ටමට ඉතා ආසන්න අගයකි.

එමෙන්ම ගුවන් ප්‍රහාරවලින් ආරක්ෂා වීමට කඳු ඇතුළත ගැඹුරින් පිහිටි ආරක්ෂිත මධ්‍යස්ථානවල මෙම කටයුතු සිදුකිරීම සැකය තීව්‍ර කරයි.

කෙසේවෙතත් අමෙරිකාව දිගින් දිගටම ඉරානයෙන් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ න්‍යෂ්ටික ගමන සීමා කරන ලෙසටය. මෙහි ප්‍රධාන කරුණු 3ක් දැක්විය හැකිය.

* ඉරානය යුරේනියම් පිරිපහදු කිරීම 3.67% මට්ටමට වඩා වැඩි නොකළ යුතු බව අමෙරිකාවේ ස්ථාවරයයි. 

* ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) නිරීක්ෂකයින්ට ඕනෑම අවස්ථාවක ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන පරීක්ෂා කිරීමට ඉඩ දිය යුතු බව.

* න්‍යෂ්ටික අවියක් නිපදවූවත් එය රැගෙන යාමට අවශ්‍ය මිසයිල තාක්ෂණය ඉරානය දියුණු කිරීම නතර කළ යුතු බව.

JCPOA ගිවිසුම සහ අමෙරිකාවේ ක්‍රියාවලිය

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමේදී JCPOA (Joint Comprehensive Plan of Action) හෙවත් “ඉරාන න්‍යෂ්ටික ගිවිසුම” ඉතා වැදගත් වේ.

බැරැක් ඔබාමා පාලන සමයේදී අමෙරිකාව ඇතුළු රටවල් ඉරානය සමඟ ගිවිසුමක් අත්සන් කර තිබේ. එහිදී ඉරානය තම න්‍යෂ්ටික කටයුතු සීමා කිරීමට එකඟ වී ඇති අතර, ඒ අනුව ඔවුන්ට පනවා තිබූ ආර්ථික සම්බාධක ඉවත් කර තිබේ.

නමුත් 2018 වසරේ දී එවකට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම ගිවිසුම “ඉතා දුර්වල” එකක් බව පවසමින් එයින් ඉවත් ව තිබේ. ඉන්පසු ඔහු ඉරානයට දැඩි ආර්ථික සම්බාධක පැනවීය.

අමෙරිකාව ගිවිසුමෙන් ඉවත් වූ බැවින්, ඉරානය ද ගිවිසුමේ නීති කඩ කරමින් යුරේනියම් පිරිපහදුව වේගවත් කර ඇති බව සඳහන් වේ.
අමෙරිකාව ඉරානයට එරෙහිව භාවිතා කරන ප්‍රධානම අවිය වන්නේ ආර්ථික සම්බාධකයි.

ඒ අනුව, ඉරානයට තම තෙල් ලෝක වෙළෙඳපොළට විකිණීමට ඇති බාධා වැඩි කරයි.

ලෝක බැංකු පද්ධතියෙන් ඉරානය හුදකලා කිරීම ද එක් උපක්‍රමයකි.

මෙමඟින් ඉරානයේ ආර්ථිකය කඩා වැටීමකට ලක් කර, ඔවුන්ව නැවත සාකච්ඡා මේසයට ගෙන්වා ගැනීම අමෙරිකාවේ අරමුණයි.
නමුත්, ඉරානය පවසන්නේ අමෙරිකාව පළමුව පනවා ඇති සියලු සම්බාධක ඉවත් කළ යුතු බවය. එසේ කළහොත් පමණක් තමන් නැවත ගිවිසුමට එකඟ වන බව ඔවුන් පවසයි.

මෙම ගැටලුවේදී ඊශ්‍රායලය සහ සෞදි අරාබිය වැනි රටවල් අමෙරිකාවට සහාය දක්වන අතර, ඉරානය න්‍යෂ්ටික බලවතෙකු වීම තමන්ගේ ආරක්ෂාවට තර්ජනයක් බව ඊශ්‍රායලයේ දැඩි විශ්වාසය වේ.

මේ අතර, ඊශ්‍රායලය පවසන්නේ අවශ්‍ය වුවහොත් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත මිලිටරි ප්‍රහාරයක් හෝ එල්ල කරන බවය.

කෙසේ හෝ වේවා කැනඩාව, ජර්මනිය, එංගලන්තය ඇතුළු යුරෝපා රටවලින් ද මෙම යුද්ධයට සෘජුව දායකත්වයක් නොදක්වන පසුබිමක මැදපෙරදිග සිදුවන මෙම බලඅරගලයට මැදිව දැඩි ආර්ථික ගැටලුවලට මුහුණ දෙමින් සිටින්නේ ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් බව කිව හැකිය.