මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය ඇතුළු සමස්ත සෞඛ්‍ය ක්ෂේත්රය නවීන තාක්ෂණයෙන් බලගැන්වීම සඳහා රුසියානු සමූහාණ්ඩුවේ පූර්ණ සහාය ලබාදෙන බව එරට සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ (Mikhail Murashko) මහතා අවධාරණය කරයි.
තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (03) දිවයිනට පැමිණි රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා අද (04) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හමුවී පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදී මේ බව පවසා ඇත.
විශේෂයෙන් කෘෂිකාර්මික හා නාගරික ප්‍රදේශවල රෝග 42ක් හඳුනාගත හැකි AI තාක්ෂණික උපකරණ පද්ධතියක් පිළිබඳව මෙහිදී අවධානය යොමු වූ බව සෞඛ්‍ය අමාත්‍ය කල නිවේදනයේ සඳහන් වේ.
මෙරට වෛද්‍යවරුන් සඳහා රුසියාවේදී උසස් වෛද්‍ය අධ්‍යාපනය සහ පුහුණුව ලබාදීමට මිත්‍රත්වයේ දෑත් දිගු කරන බව රුසියානු අමාත්‍යවරයා එහිදී පවසා ඇත.
දෙරට අතර ඖෂධ නිෂ්පාදනය සහ සැපයුම්දාමය ශක්තිමත් කිරීමටත්, මෙරට පවතින බලශක්ති ගැටලුවලට සහාය වීමටත් රුසියාව සූදානම් බව මිහායිල් මුරාෂ්කෝ මහතා පවසා තිබේ.
ඉදිරියේදී දෙරටේ සෞඛ්‍ය අමාත්‍යාංශ අතර නිල අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට ද තීරණය කර ඇත.
මේ අතර, රුසියාවේ ක්‍රියාත්මක සෞඛ්‍ය පද්ධතිය සහ AI තාක්ෂණික ප්‍රතිකාර සේවා පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු නිලධාරීන්ට රුසියාවේ නිල සංචාරයක නිරත වන ලෙස මිහායිල් මුරාෂ්කෝ මහතා ආරාධනා කළ බව සඳහන් වේ.








