දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොටසක් එක් මංතීරුවකට සීමාවෙයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම – දොඩංගොඩ කොටසේ මාතර දෙසට වන මංතීරුවේ අළුත්වැඩියා කටයුතු හේතුවෙන් රථවාහන ධාවනය එක් මංතීරුවකට සීමා කර ඇති බව පොලීසිය පවසයි.

අද (01) දක්ෂිණ අධීවේගී මාර්ගයේ ගැලනිගම දොඩංගොඩ අතර කිලෝමීටර් 17 හා 19, 28 හා 30 යන කොටස් දෙකෙහි මාතර දෙසට දිවෙන මාර්ගයේ අළුත්වැඩියා කටයුතු සිදුකරනු ලබයි.

මෙම කොටස් දෙක අතර රථවාහන ධාවනය කොළඹ දෙසට ඇති මංතීරු 02 දෙපසට ගමන් කළ හැකි පරිදි බෙදා රථවාහන ධාවනයට කටයුතු සලසා ඇති බව පොලීසිය පවසයි. 

මෙම හේතුවෙන් එම ස්ථාන ආසන්නයේ රථ වාහන තදබදයක් ඇති විය හැකි බැවින් හා අනතුරු සිදුවිය හැකි බැවින් එම ප්‍රදේශ හරහා ගමන් කිරීමේදී සැලකිලිමත්ව රිය ධාවනය කරන ලෙස පොලීසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.