කොම්පඤ්ඤවීදිය නිපොන් හෝටලයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකට බලහත්කාරයෙන් කඩා වැදී ඉස්ලාම් දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් කිරීමේ චෝදනාව යටතේ බොදු බලසේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ඊයේ (30දා) කොළඹ මහාධිකරණය ඉදිරියේ අධිචෝදනා භාරදෙන ලදි.
අධිචෝදනා කියවා දීමෙන් පසු පූර්ව නඩු විභාගයට නියම කළ මහාධිකරණ විනිසුරු බුද්ධික ශ්‍රී රාගල මහතා රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදාහැරීමට නියම කළේය. තවද විත්තිකරුගේ ඇඟිලි සටහන් ගෙන ඒවා පෙර වැරැදි පරීක්ෂාව සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලෙස මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරියට නියම කෙරිණි. මෙම නඩුව ඊයේ (30) ප්‍රථමයෙන් කැඳවීම සිදු වූයේ කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේය.
උදේශ් රණතුංග මහතා හෝමාගම මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කළ 2018 වසරේදී සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට තර්ජනය කිරීමේ චෝදනාවකට විත්තිකරු වැරැදිකරු කර තිබිණි. එම නිසා මෙම නඩුව වෙනත් අධිකරණයකට යොමු කරන බව විනිසුරුවරයා දැනුම් දුන්නේය. ඒ අනුව කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් නඩුව මහාධිකරණ විනිසුරු බුද්ධික ශ්‍රී රාගල මහතා වෙත යොමුකරන ලදි.
වටරැක විජිත හිමි ඇතුළු බෞද්ධ භික්ෂුන් හා මුස්ලිම් පූජකවරුන් නියෝජනය කරන ‘ජාතික බල සේනා’ නම් සංවිධානය පවත්වන ලද මාධ්‍ය හමුවකට බලහත්කාරයෙන් කඩා වැදී ඉස්ලාම් ආගමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරා තිබේ. ද්වේෂසහගත ප්‍රකාශයක් කිරීම මඟින් ඉස්ලාම් ආගමට, එහි ආගමික විශ්වාසයන්ට නින්දා කිරීමේ චෝදනාව යටතේ දණ්ඩ නීති සංග්‍රහයේ 219 (ආ) වගන්තිය යටතේ මෙම නඩුව පවරා ඇත.
1994 වසරේ අප්‍රේල් 12දා කොම්පඤ්ඤවීදිය නිපොන් හෝටලයේදී මෙම සිදුවීම සිදුව ඇති අතර නීතිපති උපදෙස් ලැබීමට ප්‍රමාදවීම නිසා නඩු පැවරීම සිදුව නොමැත. නඩු භාණ්ඩ ලෙස එම අවස්ථාව අවාරණය කළ මාධ්‍යවේදීන් විසින් ගන්නා ලද වීඩියෝ දර්ශන ඇතුළත් සංයුක්ත තැටි කිහිපයක්, මොරටුව විශ්වවිද්‍යාලය මඟින් නිකුත් කරන ලද වෝහාරික වාර්තාවක්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් මුස්ලිම් කටයුතු හා ආගමික කටයුතු අමාත්‍යාංශය 2014 වසරේ ජූලි 4දා නිකුත් කළ ලිපියක් නඩු භාණ්ඩ ලෙස නම්කර තිබේ.
කොළඹ කොම්පඤ්ඤවීදියේ පදිංචි නූර්ඩීන් මොහොමඩ් තාජුඩීන් නමැති අය කළ පැමිණිල්ලක් අනුව මෙම නඩුව පවරා ඇත. නඩුවේ පළමු සාක්ෂිකරු වන ඔහුට මීළඟ නඩු දින අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කෙරිණි.
ආගම් අතර සංහිඳියාව කඩවන ආකාරයේ ප්‍රකාශයක් කිරීමේ චෝදනාවට වරදකරු වූ ගලබොඩඅත්තේ ඥානසාර හිමිට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍යය පටබැඳි විසින් 2024 වසරේදී බරපතළ වැඩ ඇතිව වසර 4ක සිර දඬුවම් නියම කළ අතර ජනාධිපති සමාව හිමිවීම නිසා චුදිත නිදහස් කෙරිණි. එයට පෙර අවස්ථාවක අධිකරණ අපහාස චෝදනාවට වරදකරු වූ විත්තිකරු ජනාධිපති සමාව හිමිවීම නිසා නිදහස ලැබිණි. රජයේ අධිනීතිඥ ඉමංසී සෙනරත් පැමිණිල්ල මෙහෙය වූවාය. විත්තිකරු වෙනුවෙන් නීතිඥ සංජය ආරියදාස මහතා පෙනී සිටියේය.








