මැද පෙරදිග කලාපයේ විශේෂයෙන් 2026 පෙබරවාරි 28 දිනෙන් පසු උද්ගත වූ නොසන්සුන්කාරී තත්ත්වය හා ඒ ආශ්රිත ගෝලීය ආර්ථික ප්රවණතා හමුවේ දැනට ශ්‍රී ලංකාවට බල පෑ ඉන්ධන සැපයුම් සීමාවන් හා සමස්ත බලශක්ති කළමනාකරණ අවශ්‍යතා හේතුවෙන් ජාතික ඉන්ධන තොග මත ඇති වන පීඩනය අවම කිරීම සඳහා රජය විසින් කාර්යාලයීය සේවා සීමිතව පවත්වා ගෙන යාමට මුල දී පියවර ගන්නා ලදි. ගරු අග්‍රාමාත්‍යතුමියගේ සභාපතිත්වයෙන් පත් කර ඇති රාජ්‍ය සේවය ක්රමාණුකූලව පවත්වාගෙන යාම පිළිබඳ අමාත්‍ය මණ්ඩල කමිටුවේ නියමයෙන් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර දුරස්ථ සේවා ක්‍රමවේදයට (Remote Work) හැකිතාක් දුරට යොමු වීමේ හැකියාව සොයා බැලීමට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයට නියම කර ඇත.
ඒ අනුව, දුරස්ථ සේවා සැපයවීමට මෙන්ම සාමාන්‍ය කාර්යාලයීය කටයුතු සඳහා ද ඩිජිටල් තාක්ෂණයන්හි ප්රශස්ත භාවිතය පිළිබඳ නිර්දේශ සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට ලබා දීමට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් අතුරු මාර්ගෝපදේශ හඳුන්වා දී තිබේ. එකී මාර්ගෝපදේශ භාෂාත්‍රයෙන්ම සම්පාදනය කර ඇති අතර, ඒවා https://mode.gov.lk/docs/guidelines යන සබැඳියෙන් බාගත කර ගත හැකි ය.
2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනතට අනුව, රජයේ ලේඛන ඉලෙක්ට්‍රොනිකව නිර්මාණය කිරීම, අනුමත කිරීම සහ සංසරණය කිරීම නීත්‍යානුකූල බව අමාත්‍යාංශය අවධාරණය කරයි. ඒ අනුව විධිමත්ව පරිලෝකනය (ස්කෑන්) කරන ලද අත්සන්, ඩිජිටල් අත්සන් හෝ රජයේ නිල ඉ-මේල් පහසුකම හරහා ලබාදෙන තොරතුරු හා අනුමැතීන් වලංගු ලේඛන ලෙස පිළිගැනේ. මීට පෙර කෝවිඩ්-19 වසංගත සමයේ දී ඇති වූ ප්‍රායෝගික තත්ත්වයන් හමුවේ හඳුන්වා දුන් රජයේ කටයුතු සඳහා වෙන් වූ https://meet.gov.lk මාර්ගගත වීඩියෝ සම්මන්ත්රණ වේදිකාව ප්‍රාථමික සන්නිවේදන මෙවලම ලෙස නිර්දේශ කර ඇති අතර, විකල්ප ලෙස සෙසු වාණිජ වේදිකා ද සීමිත කාලසීමාවන් යටතේ භාවිතා කළ හැකි බව දක්වා ඇත.
මෙහි දී විශේෂයෙන් වත්මන් රජයේ ප්රමුඛ සංවර්ධන ප්‍රවේශයක් වන ඩිජිටල් ආර්ථික සැලැස්මෙහි රාජ්‍ය අංශයේ සේවා ප්‍රශස්තකරණයට ද දායක වන සේ ඒ ඒ සේවා ස්ථානයේ නිලධාරීන්ගේ හා සෙසු කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ ඩිජිටල් තාක්ෂණ කුසලතා වැඩිදියුණු කිරීමට හා විශේෂයෙන් රාජකාරින්ට අදාල තොරතුරුවල ආරක්ෂාව දැඩි ලෙස සුරැකීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පිණිස දෙපාර්තමේන්තු ප්‍රධානීන් දිරිමත් කරනු ලැබේ. ඒ අනුව ඩිජිටල් තාක්ෂණ භාවිතයෙන් නිවසේ හෝ කාර්යාලයේ / සේවා ස්ථානයේ සිට පරිපාලන හා සේවා සැපයීම් කටයුතු හා සිදු කිරීම සඳහා අනුමත ක්‍රමවේද කිහිපයක් මෙම මාර්ගෝපදේශ මාලාවෙහි දක්වා ඇත.
මෙම මාර්ගෝපදේශය පිළිබඳව සියලුම රාජ්‍ය නිලධාරීන් දැනුවත් කර ක්‍රියාවෙහි යොදවන ලෙස රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් 2026 අප්‍රේල් 23 දිනැතිව අංක 02/ 2026 චක්‍රලේඛය මගින් අමාත්‍යාංශ ලේකම්වරුන්ට, පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට හා සියලු දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට උපදෙස් ලබා දී ඇත.








