Clean Sri Lanka ජාතික වැඩසටහන මඟින් ක්‍රියාත්මක කෙරෙන ‘සිහින ගමනාන්තය’ දුම්රිය ස්ථාන සියයක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ, මරදාන දුම්රිය ස්ථානයේ පළමු අදියරේ කටයුතු අවසන් කර තිබෙනවා.
අදාළ නවීකරණ කටයුතු නිමවා මගී ජනතාවට එම පහසුකම් විවෘත කරදීම ඊයේ (25) ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් සිදු වූ බවයි වාර්තා වන්නේ.
Clean Sri Lanka ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, NIO Engineering ආයතනය, පෞද්ගලික අංශය සහ සිවිල් සංවිධාන ඇතුළු ආයතන රැසක ඒකාබද්ධ දායකත්වයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක අතර එහි පළමු අදියර සඳහා රුපියල් මිලියන තිස් පහක පිරිවැයක් දරා ඇති බව සඳහන්.
පළමු අදියර යටතේ ආරක්ෂක කැමරා පද්ධති, විදුලි ආලෝක පද්ධති සහ නවීන උපාංග සහිත සනීපාරක්ෂක පහසුකම් ස්ථාපනය කර තිබෙනවා. එසේම ගොඩනැගිලි සංකීර්ණයේ බාහිර හා අභ්‍යන්තර තීන්ත ආලේපනය, පරිසර අලංකරණය සහ දුම්රිය ස්ථාන ගොඩනැගිල්ලේ වහලය පූර්ණ ප්රතිසංස්කරණයකට ලක් කිරීම ද සිදු කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.








