විදෙස් ප්‍රේෂණ 27%කින් ඉහළ ගිහින්

විදෙ­ස්ගත ශ්‍රමි­ක­යන් විසින් මේ වසරේ පළමු කාර්තු­වේදී මෙර­ටට එවා ඇති ප්‍රේෂණ 27%කින් වාර්තා­ගත ලෙස ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාං­ශය සඳ­හන් කරයි.

එය ඉකුත් වසරේ පළමු කාර්තු­වට සාපේ­ක්ෂව සිය­යට 26.5කින් ඉහළ යාමක් බවද එම කාර්යාං­ශය නිවේ­ද­නය කරයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත උපුටා දක්ව­මින් කාර්යාං­ශය සඳ­හන් කරන්නේ 2026 වර්ෂයේ ජන­වාරි සිට මාර්තු දක්වා අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 2.294ක විග­ම­නික ශ්‍රමික ප්‍රේෂණ මෙර­ටට ලැබී ඇති බවයි. ඒ අනුව ජන­වාරි මසදී ඩොලර් මිලි­යන 751, පෙබ­ර­වාරි මස ඩොලර් මිලි­යන 729ක් හා මාර්තු මසදී ඩොලර් මිලි­යන 815ක් ලැබී තිබේ.

2025 වර්ෂයේ පළමු මාස 3 තුළදී ලැබී ඇති විග­ම­නික ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමා­ණය ඩොලර් මිලි­යන 1815කි. (බිලි­යන 1.815) විග­ම­නික ශ්‍රමික ප්‍රේෂණ මෙර­ටට ලැබීමේ ප්‍රමා­ණය මෙලෙස ඉහ­ළ­යා­මට රාජ්‍ය මූල්‍ය විශ්වා­සය හා විනි­වි­ද­භා­වය හා නීත්‍ය­නු­කූල මාර්ග ක්‍රම­වේද ශ්‍රමි­ක­යන් භාවිත කිරී­මට කාර්යාං­ශය විසින් උනන්දු කර­වීම හේතු වී ඇති බව කාර්යාං­ශය සඳ­හන් කරයි. මේ අතර මේ වසරේ ජන­වාරි සිට මාර්තු අව­සා­නය දක්වා ශ්‍රමි­ක­යන් 62,145 දෙනකු රැකියා සඳහා විදේ­ශ­ගත වී තිබේ.

මහින්ද අලු­ත්ගෙ­දර