ඉරාන යුද්ධය ආරම්භ වී දින 50ක් පමණ ගත වන විට, නිපදවීමට නොහැකි වූ බොරතෙල් හේතුවෙන් ලෝකයට අහිමි වී ඇති වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 50 ඉක්මවා ඇති බව රොයිටර් පුවත් සේවය සහ විශ්ලේෂකයින් පවසනවා.
මෙම අර්බුදයේ බලපෑම ඉදිරි මාස කිහිපය තුළ පමණක් නොව වසර ගණනාවක් පුරා දැනෙනු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ ඉරාන යුද්ධය අවසන් කිරීමේ එකඟතාවයක් “ඉක්මනින්” ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන නමුත් ඒ සඳහා ගතවන කාලය නිශ්චිත නොමැති බවයි.
පෙබරවාරි අග භාගයේ මෙම අර්බුදය ආරම්භ වූ දා සිට, බොරතෙල් සහ ඝනීභවනය (condensate) බැරල් මිලියන 500කට වඩා වැඩි ප්‍රමාණයක් ලෝක වෙළඳපොළට අහිමි වී තිබෙනවා. .
මෙය නූතන ඉතිහාසයේ බලශක්ති සැපයුමට එල්ල වූ විශාලතම බාධාව ලෙසයි සැලකෙන්නේ.
මාර්තු මාසයේදී ගල්ෆ් අරාබි රටවලට දිනකට බොරතෙල් බැරල් මිලියන 8ක නිෂ්පාදන ධාරිතාවක් අහිමි වී ඇති අතර මෙය ලොව විශාලතම තෙල් සමාගම් දෙකක් වන Exxon Mobil සහ Chevron යන සමාගම් දෙකෙහි ඒකාබද්ධ නිෂ්පාදනයට සමානයි.
සෞදි අරාබිය, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේටය, බහරේනය සහ ඕමානය යන රටවලින් සිදුකෙරෙන ගුවන් යානා ඉන්ධන අපනයනය පෙබරවාරි මාසයේ තිබූ බැරල් මිලියන 19.6 සිට මාර්තු සහ අප්‍රේල් මාසවලදී බැරල් මිලියන 4.1 දක්වා දරුණු ලෙස පහත වැටී තිබෙනවා.
බොරතෙල් බැරලයක සාමාන්‍ය මිල ඩොලර් 100ක් ලෙස ගණන් බැලූ විට, අහිමි වූ තෙල් ප්‍රමාණයේ වටිනාකම ඩොලර් බිලියන 50ක් පමණ වෙනවා.
හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත බව ඉරාන විදේශ අමාත්‍යවරයා පැවසුවද, තෙල් නිෂ්පාදනය සහ සැපයුම යථා තත්ත්වයට පත්වීම ඉතා මන්දගාමී වති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ.








