පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට පවතින විමර්ශන තවත් කෙටි කාලයක් තුළ සාර්ථකව අවසන් කිරීමට හැකි වනු ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විශ්වාසය පළ කරයි. ඊයේ (21) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම විමර්ශන මේ වන විට ඉතා සාර්ථකව ඉදිරියට ගොස් ඇති අතර සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන ඇති බවයි. මෙම විමර්ශන කටයුතු නිවැරදි මාවතේ මෙහෙයවීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අඛණ්ඩව ක්‍රියා කරන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
අමාත්‍යවරයා ප්‍රකාශ කළ පරිදි, මෙම විමර්ශනවල වත්මන් තත්ත්වය සහ එහි ප්‍රගතිය පිළිබඳ මේ වන විටත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ. ඒ අනුව, ඉදිරි කෙටි කාලය තුළ මෙම සියලු පරීක්ෂණ සාර්ථකව නිමා කිරීමට හැකි වනු ඇති බවට අමාත්‍යවරයා දැඩි විශ්වාසයක් පළ කළේය.
පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනවලට පමණක් සීමා නොවී, මෙරට සිදු වූ සියලුම නීතිවිරෝධි ක්‍රියාකාරකම් පිළිබඳ රජයේ අවධානය යොමු වී ඇති බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. විශේෂයෙන්ම අල්ලස්, දූෂණ, වංචා සහ මූල්‍ය අවභාවිතාවන් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන පූර්ණ විනිවිදභාවයකින් යුතුව සිදු කිරීමට පියවර ගෙන ඇත. ජනතාවගේ විශ්වාසය ආරක්ෂා වන පරිදි මෙම කටයුතු සිදු කරන බව හෙතෙම සහතික විය.
මේ අතර, එළඹෙන මැයි දිනය වෙනුවෙන් දිවයින පුරා පැවැත්වීමට නියමිත සියලුම මැයි රැලි සහ උත්සව සඳහා අවශ්‍ය වන පූර්ණ ආරක්ෂක වැඩපිළිවෙළ මේ වන විටත් සම්පූර්ණයෙන් සූදානම් කර ඇති බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
රක්ෂණ ශ්‍රියන්ත








