නුවරඑළියේ හෝටලයකදී එහි හිමිකරුට ගිනිඅවියක් එල්ල කර තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලි නුවරඑළිය පොලීසිය ඊයේ (21) අත්අඩංගුවට ගෙන ඇත.
බිරිය ඇතුළු පිරිසක් සමඟ අවුරුදු නිවාඩුව ගත කිරීමට නුවරඑළියට පැමිණ නවාතැන් ගෙන සිටි හෝටලයේ හිමිකරු සමඟ ඇති වූ යම් බහින්බස්වීමක් දුරදිග ගොස් ගිනිඅවිය එල්ල කර හෝටල් හිමියාට තර්ජනය කර ඇති බව පොලීසිය සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් හෝටලයෙන් ලද පැමිණිල්ලකට අදාළව ප්‍රේමලාල් ජයසේකර මහතා ගිනිඅවිය ද සමඟ පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
ගිනිඅවියේ බලපත්‍ර කල් ඉකුත් වී ඇති බව මූලික විමර්ශනවලින් පෙනී ගොස් තිබේ. බලපත්‍ර අලුත් කර ඇති බව සැකකාර ප්‍රේමලාල් ජයසේකර මහතා පොලීසියට පවසා ඇත. බලපත්‍රය අලුත් කර තිබේනම් එය ඉදිරිපත් කරන ලෙස එහිදී පොලීසිය ඔහුට දැනුම් දී තිබේ.
බලපත්‍රය ඉදිරිපත් කළද ගිනිඅවි එල්ල කර මරණ තර්ජනය කිරීම් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පොලීසිය කියයි.
ප්‍රේමලාල් ජයසේකර මහතා වෙඩිතබා කළ මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් රත්නපුර මහාධිකරණයෙන් වරදකරු වී මරණීය දණ්ඩනයද නියම වූවෙක් බව පොලීසිය පවසයි. අනතුරුව ඔහු එම තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ බවත් එහි දී ඔහු ඇතුළු තිදෙනෙක් නිදහස ලැබූ බවත් උසස් පොලිස් නිලධාරියෙක් කීය.
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට තරග කළ 2015 වසරේ පැවති මැතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් කහවත්තේ සැරසිලි කරමින් සිටි ශාන්ත දොඩංගොඩ නමැති අයෙක් වෙඩි ප්‍රහාරයට ලක්ව මිය ගියේය. ඒ 2015 වසරේ ජනවාරි 05 වැනිදා අලුයම් කාලයේදීය.
මෙම ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබූ ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු තිදෙනකුට රත්නපුර මහාධිකරණය විසින් 2020 වසරේ ජූලි 31දා මරණීය දණ්ඩනය නියම කරන ලදි. මේ සම්බන්ධයෙන් ඔහු ඇතුළු පිරිස අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් විභාග කර ඔවුන්ව නිදහස් කිරීමට නියෝග කරනු ලබනුයේ 2022 වසරේ මාර්තු 31 දාය. ඒ ගිනිඅවියක් තිබුණු බවට හෝ වෙඩි තැබූ බවට සාක්ෂි නොමැති බව සඳහන් කරමිනි.
ගයාන් කුමාර වීරසිංහ








