වත්මන් රජය පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ සම්බන්ධයෙන් සුබවාදී පිළිවෙතක් අනුගමනය කරන බව පිළිගත යුතු යැයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
එහෙත් එම ගමන් මගට විවිධ අයුරින් බාධා කිරීමට ඇතැම් පාර-රාජ්‍ය නිලධාරීන් ක්‍රියා කරමින් සිටින බවයි අද (21) පැවති දේව මෙහෙයක් අමතමින් උන්වහන්සේ සඳහන් කළේ.
2019 වසරේ සිට බලයට පත් වූ සියලු රජයන් මෙම මිනීමරු ප්‍රහාරයේ සත්‍යතාව හෙළි කර ගැනීමට දැක්වූ උනන්දුව ඉතා අල්ප මට්ටමක පැවති බවත්, එවක සිටි ජනාධිපතිවරුන්, පොලිස්පතිවරුන් මෙන්ම නීතිපතිවරුන් ද මේ පිළිබඳ විමර්ශන නොසලකා හැරීමට කටයුතු කළ බවත් එහිදී වැඩිදුරටත් සඳහන් වුණා.
මෙම ප්‍රහාරය පිළිබඳ සත්‍යය කාලයේ වැලිතලාවට යට වී යන්නට තමන් ඉඩ නොදෙන බවට වත්මන් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බවත්, එම පොරොන්දුව යථාර්ථයක් කරමින් පාස්කු ප්‍රහාරය පිළිබඳ පරිපූර්ණ, විනිවිද පෙනෙන සහ සත්‍ය මත පදනම් වූ පරීක්ෂණයක් පවත්වා එහි සත්‍යතාව හෙළිදරව් කරදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කර සිටියේ.








