දෙහිවල ප්‍රදේශයේදී වයෝවෘද්ධ පුද්ගලයෙකු තල්ලු කර බිම දමා මුදල් කොල්ලකෑම ගැන සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වූ සිද්ධියට සම්බන්ධ සැකකරු දෙහිවල පොලිස් ස්ථානයේ අපරාධ අංශය මඟින් ඊයේ (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය අප්‍රේල් 17 වැනිදා දෙහිවල, වෛද්‍ය පාරේ ගමන් කරමින් සිටි 74 හැවිරිදි පුද්ගලයෙකු තල්ලු කර බිම දමා, ඔහුගේ කමිස සාක්කුවේ තිබූ රුපියල් 2,100 ක මුදලක් කොල්ල කා සැකකරු පළා ගොස් තිබුණු බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම අමානුෂික ක්‍රියාව දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබුණු අතර, ඒ අනුව දෙහිවල පොලිස් අපරාධ අංශය සිදු කළ මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව තිබී අයිස් (ICE) මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 5,200ක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරු දෙහිවල, ඔපන් පෙදෙස ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු අද (20) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.








