ආබාධිත පුද්ගලයන් සඳහා වූ පත්ල පහත් (Low Floor) ප්‍රමුඛතා බස් රථ සේවාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට හෙට (21) ආරම්භ කිරීමට නියමිත බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.
මෙම වැඩසටහන සඳහා රුපියල් මිලියන 430ක මූල්‍ය ප්‍රතිපාදන යොදාගෙන ඇති අතර, මෙය Clean Sri Lanka වැඩසටහන යටතේ ක්‍රියාත්මක තවත් සුවිශේෂී ව්‍යාපෘතියක් බවයි එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
මෙහි පළමු අදියර යටතේ රෝද පුටු භාවිත කරන්නන්ට ඉතා පහසුවෙන් ළඟා විය හැකි, පත්ල පහත් විශේෂ වර්ගයේ නවීන වායුසමනය කළ බස් රථ 10 ක් සේවයේ යෙදවීමට නියමිතයි.
මෙම බස් රථයක එකවර මගීන් 80කට ගමන් කළ හැකි අතර, එය ආසන 33කින් සමන්විත වනවා.
එමෙන්ම රෝද පුටු භාවිත කරන්නන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ තාක්ෂණික අංග රැසකින් ද මෙම බස් රථ සමන්විත බවද වාර්තා වනවා.
මාකුඹුර සිට පිටකොටුව සහ කඩවත දක්වා මෙම බස් රථ ධාවනය කිරීමට සැලසුම් කර තිබෙන අතර, මහරගම අපේක්ෂා රෝහල සහ කොළඹ ජාතික රෝහල ඇතුළු ප්‍රධාන සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන ආවරණය වන පරිදි මෙම ධාවන කටයුතු සිදු කිරීම රජයේ සැලසුම බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.









