මිදිගම ගංගොඩ ප්‍රදේශයේ නිවසකට ඊයේ (18) රාත්‍රී 11.45ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබේ.
මිදිගම යාහුවත්ත, ගංගොඩ යන ප්‍රදේශයේ නිවසක් වෙත මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.
වෙඩි තැබීමෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර නිවසේ ස්ථාන කීපයක වෙඩි වැදී තිබුණි.
යතුරුපැදියකින් පැමිණි නාදුනන වෙඩික්කරුවන් දෙදෙනකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව පොලීසිය පැවසීය.
නිවසේ ගේට්ටුව විවෘත කර නිවෙස් පරිශ්‍රයට ඇතුළු වී නිවස ඉදිරිපිට නතර කර තිබූ මෝටර් රථයකට ගිනි තබා අනතුරුව වෙඩි ප්‍රහාර පහක් පමණ එල්ල කළ බව නිවැසියන් සඳහන් කළේය.
නිවසේ හිමිකාර 35 හැවිරිදි ව්‍යාපාරිකයා සමග කායවර්ධන මධ්‍යස්ථානයකදී ඇති කරගත් ආරවුලකට මෙම වෙඩි තැබීම මිදිගම ලන්සි යන අනුවර්ත නාමයෙන් හදුන්වන පාතල කල්ලියේ සාමාජිකයින් විසින් සිදුකර ඇති බව පොලීසිය සැකපළ කර තිබේ.
වෙඩි ප්‍රහාරය එල්ලවන අවස්ථාවේදී එම නිවසේ අදාළ ව්‍යාපාරිකයා, බිරිඳ, දරු දෙදෙනා සහ තවත් වැඩිහිටියෙකු නිවසේ සිට ඇති අතර ඔවුන්ට කිසිදු හානියක් සිදුව නොමැත.
සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන මිදිගම පොලීසිය විසින් සිදුකරති.








