ජොන්ස්ටන්ගේ සතොස නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය මාර්තු 18 වැනිදා කැඳවීමට නියෝග

වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයන් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩු කළේ යැයි චෝදනා ලබා සිටින, හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට අදාළ නඩුව වැඩිදුර සාක්ෂි විභාගය සඳහා මාර්තු මස 18 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම නඩුව අද (06) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී, වෙනත් නඩුවක් සඳහා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ මොහොමඩ් සාකීර් යන විත්තිකරුවන් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරද්දී, සතොස ආයතනයේ සේවකයන් ඔවුන්ගේ නීත්‍යානුකූල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින්, හිටපු වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයකු වන මොහොමඩ් සාකීර් යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබුණා.