ආපදාවෙන් බස්නාහිරට කුණු මෙට්‍රික් ටොන් 40,000ක්

රට තුළ ඇති වු ආපදා තත්ත්වයෙන් පසු බස්නාහිර පළාත තුළ පමණක් මෙට්‍රික් ටොන් 40,000ක පමණ කසල තොගයක් ගොඩ ගැසී තිබෙනවා.

එම පළාතේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති චතුර කහඳවආරච්චි කියා සිටියේ, කොඩිකාවත්ත, මුල්ලේරියාව, කොළොන්නාව, කඩුවෙල යන පළාත් පාලන ආයතන තුළ මෙලෙස වැඩි වශයෙන් කසල ගොඩගැසී ඇති බවයි.

කෙසේ වෙතත්, ඉවත් කිරීමට ඉතිරිව ඇත්තේ තවත් කුඩා පමාණයක කසල ප්‍රමාණයක් බව ඔහු සදහන් කළා.

එමෙන්ම ආපදාවෙන් වැඩිම බලපෑමක් එල්ල වූ ගම්පොල නගරයේ ද මෙට්‍රික් ටොන් 400කට අධික කසල ප්‍රමාණයක් ගොඩගැසී තිබෙනවා.

කෙසේ වෙතත්, එම තොගය ගම්පොළ නිදහස් මාවතේ ගොඩගසා තිබීම හේතුවෙන් එම ප්‍රදේශයේ දැඩි දුගධක් හමා යන අතර ජනතාවගේ සෞඛ්‍යයට බලපෑම් එල්ල වී ඇති බවයි ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළේ.

මේ අතර, පරිසර යුක්ත කේන්ද්‍රයේ නීති උපදේශක රවීන්ද්‍රනාත් දාබරේ පවසන්නේ විවිධ අපද්‍රව්‍ය මෙලෙස පරිසරයට එක්වීම හමුවේ ඉදිරියේදී දැඩි පාරිසරික ගැටලු‍වක් ඇති විය හැකි බවයි.