ආපදා අවස්ථාවක, සමස්ත රටේ ජනතාව එක්ව සිටින මේ මොහොතේ සදාචාර විරෝධී ලෙස සත්‍යයෙන් තොර පුවත් සමාජගත කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා පැවැසීය.
එමෙන්ම සදාචාර විරෝධීව සත්‍යයෙන් තොර පුවත් සමාජගත නොකරන ලෙස පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් තමන් මහජනතාවගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එසේ ප්‍රකාශ කළේ, ත්‍රිවිධ හමුදා ආරක්ෂක මූලස්ථානයේ ඊයේ (01) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
මේ වන විට මහජනතාව බියට සහ කැලඹීමට පත්වන ආකාරයේ පුවත් සමාජගත කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිහිපයක් ලැබී තිබෙන බවත්, අදාළ පැමිණිලි සම්බන්ධව පරිගණක විමර්ශන අංශය විමර්ශන ආරම්භ කර තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නේය.
පශ්චාත් ආපදා සමයේ රටේ මහජනතාවගේ ආරක්ෂාව සහ යහපැවැත්ම වෙනුවෙන් සේවාවන් සහ සැපයීම් අඛණ්ඩව පවත්වාගෙන යෑමට රජය කැපවීමෙන් කටයුතු කරමින් සිටින අවස්ථාවක ඇතැම් පුද්ගලයන් සමාජ මාධ්‍ය ඔස්සේ සත්‍යයෙන් තොර, තහවුරු නොකරන ලද පුවත් සමාජගත කිරීමේ ප්‍රවණතාවක් දක්නට තිබෙන බවත් සඳහන් කළ සහකාර පොලිස් අධිකාරිවරයා මහජනතාව බියට සහ කැලඹීමට පත්වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම සහ පළ කිරීම ඉතා වැරදි ක්‍රියාවක් බවත්, අසත්‍ය තොරතුරු සමාජගත කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවත් එහි දී පෙන්වා දුන්නේය.
රැඳවුම් මධ්‍යස්ථානවල ඇතුළු ආපදාවට ලක්වූ ප්‍රදේශවලින් යම් යම් අපරාධ සිදුවීම් වාර්තාවීමක් දක්නට ලැබෙන බවත්, ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයට අනුව ස්ත්‍රී දූෂණ, අයුතු ඇතුළු වීම්, සොරකම් සහ කොල්ලකෑම් සිදුකරන ඕනෑම පුද්ගලයකුට එරෙහිව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන බවත් පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා රජය ප්රමුඛව ආපදාවට ලක්වූවන්ගේ සුබසාධනය වෙනුවෙන් සිදුකරන ඒකාබද්ධ මෙහෙයුමට සියලුම දෙනාගේ ගෞරවණීය දායකත්වය අපේක්ෂා කරන බවත් සඳහන් කළේය.
එසේම මෙරටට පැමිණ සිටින විදේශිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වැදගත් සහ කඩිනම් පියවර රැසක් පොලිස් දෙපාර්තමේන්තුව විසින් ගෙන තිබෙන බවත්, එහි දී සංචාරකයන් සම්බන්ධව ඕනෑම ගැටලුවක් ඇත්නම් සංචාරක පොලිස් කොට්ඨාසයේ අධ්යක්ෂතුමන්ගේ 0718591894, 0112421070 හෝ 1912 ක්ෂණික දුරකතන අංකයට හෝ ගුවන් තොටුපළ (සංචාරක) ස්ථානාධිපති 0718596057 සහ ගුවන් තොටුපළ භාර ස්ථානාධිපති 0718591640 යන දුරකතන අංකවලට දැනුම් දිය හැකි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
මීට අමතරව පොලිස්පතිවරයාගේ මඟ පෙන්වීම මත පොලිස් මූලස්ථානයේ පැය 24 පුරාම ක්‍රියාත්මක විශේෂිත මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇති අතර, 0718595884, 0718595883, 0718595882, 0718595881, 0718595880 යන දුරකතන අංක අමතා ආපදාවට ලක්වූ පුද්ගලයන් සම්බන්ධව හෝ ඕනෑම ගැටලුවක් යොමු කිරීමට මහජනතාවට මෙමඟින් අවස්ථාව උදා කර දී ඇත.
උපාලි කරුණාරත්න








