චීන නව සංවර්ධන සැලැස්මෙන් ලංකාවට සහාය

චීන කොමියුනිස්ට් පක්ෂයේ වැනි මධ්‍යම කාරක සභාවේ සිව්වන සැසිවාරය විසින් අනුමත කරන ලද නව සංවර්ධන සැලැස්ම, ශ්‍රී ලංකාව සමග ශක්තිමත් සහයෝගීතාව ඇතුළුව, ගෝලීය හවුල්කාරිත්වයන් සඳහා නව මාවත් විවෘත කරන බව මෙරට චීන තානාපතිවරයා පවසනවා.

චීනයේ ඉදිරි වසර පහක ආර්ථික හා සමාජ සංවර්ධනය සඳහා මඟ පෙන්වන 15 වැනි පස් අවුරුදු සැලැස්ම සඳහා වන නිර්දේශ සම්මත කළ බවද ඔහු පැවසුවා.

ශැංග්‍රි-ලා හෝටලයේ පැවති දැනුවත් කිරීමේ හමුවකදී අදහස් දක්වමින් තානාපතිවරයා මේ බව කියා සිටියා.

මෙම සැලැස්ම යටතේ උසස් තත්ත්වයේ වර්ධනය, තාක්ෂණික නවෝත්පාදනය, හරිත සංකල්පය සහ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා ප්‍රමුඛතාවය ලබා දෙනවා.

14 වැනි පස් අවුරුදු සැලැස්ම යටතේ ලද ප්‍රගතිය අවධාරණය කරමින් තානාපතිවරයා කියා සිටියේ, චීනය 5.5% ක පමණ සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගයක් වාර්තා කළ බවයි.

2025 වන විට එහි දළ දේශීය නිෂ්පාදිතය (GDP) ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 19 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඔහු පැවසුවා.

එය ගෝලීය ආර්ථික වර්ධනයට 30% ක පමණ දායකත්වයක් සපයන බවද සඳහන් කළා.

පුනර්ජනනීය බලශක්ති, නවෝත්පාදන සහ දරිද්‍රතාවය පිටුදැකීම යන ක්ෂේත්‍රවල ප්‍රගතිය වේගවත් වී ඇති අතර, චීනයේ මේ වන විට 500,000කට අධික අධි තාක්ෂණික ව්‍යවසායන් සහිතයි.

මේ අතර තානාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ 15 වැනි පස් අවුරුදු සැලැස්ම මගින් ජාත්‍යන්තර සහයෝගීතාව පුළුල් කිරීමට දැඩි අවධානයක් යොමු කරන බවයි.

ශ්‍රී ලංකාව චීනයේ සංවර්ධන ප්‍රයත්නවල සහ එක් තීරයක්, එක් මාවතක් වැඩසටහනේ වැදගත් හවුල්කරුවෙකු ලෙස පවතින බවයි ඔහු සඳහන් කළේ.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට, ආයෝජන අවශ්‍යතා සහ දිගුකාලීන සංවර්ධන ප්‍රමුඛතා සඳහා සහාය වීමට චීනය කැපවී සිටින බව තානාපතිවරයා පැවසුවා.

එමෙන්ම වෙළඳාම, යටිතල පහසුකම්, තාක්ෂණය සහ හරිත වර්ධනය හරහා ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බවයි ඔහු වැඩි දුරටත් පැවසුවේ.