‍කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා, ලක්ෂ 149 ක් වංචා කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා, රුපියල් ලක්ෂ 149 ක මුදලක් වංචාකල පුද්ගලයෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සිංහාරගේ ජනක සිල්වා නම් අයෙකු වන අතර, ඔහු කැනඩාවේ ස්ථිර පදිංචිය සඳහා ගොස් එරට පුරවැසිභාවය ද ලබා ඇති අයෙක් බවයි සඳහන් වෙන්නේ.

එම තත්ත්වය උපයෝගි කර ගනිමින් මොහු පුද්ගලයින් රැසකගෙන් මුදල් අයකර ඇති අතර, ඔහුගේ ජාවාරමට හසුවූ පුද්ගලයින් දස දෙනෙකු කාර්යාංශය වෙත පැමිණ පැමිණිලි ඉදිරිපත් කර ඇති බවත්, ඒ අනුව කාර්යාංශය විසින් මෙම සැකකරු පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කර, ඔහුට විදේශ ගමන් තහනමක්ද පැනවීමට පියවර ගෙන තිබුණු බවයි සඳහන් වෙන්නේ.

ඔහුගේ විදේශ ගමන් තහනම ඉවත් කරගත හැකි බව පවසා, පොලිස් උපාය දූතයෙකු මාර්ගයෙන් සැකකරු ඊයේ දින කාර්යාංශය වෙත කැඳවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව, වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා සඳහා බඳවා ගැනීමට මුදල් අයකිරීම හා වංචා සිදුකිරීම යන චෝදනාවට එරෙහිව විමර්ශන නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.