විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ අදහස් දැක්වීමට කථානායකවරයා විසින් සාධාරණ වේලාවක් ලබා නොදීම සම්බන්ධයෙන් ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි අන්තර් පාර්ලිමේන්තු සංගමයට (IPU) පැමිණිලි කිරීමට විපක්ෂය තීරණය තිබෙනවා.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලකගෙන් කළ විමසීමකදී ප්‍රකාශ කළේ රටට වැදගත් ජාතික වැදගත්කමකින් යුත් හදිසි කාරණයක් පවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නොලැබෙන බවයි.
මීට පෙර සිටි කිසිදු කතානායකවරයෙක් මේ ආකාරයට විපක්ෂ නායකට හෝ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කතා කිරීම සඳහා බාධා නොකළ බවයි ගයන්ත කරුණාතිලක එහිදී ප්‍රකාශකර සිටියේ.
මීට පෙර අවස්ථා කිහිපයකදීම විපක්ෂයට සිදුවන මෙම අසාධාරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අවධානය යොමු කළද ඊට සාර්ථක ප්‍රතිචාරයක් නොලැබුණු නිසා අන්තර් පාර්ලිමේන්තු සංගමයට මේ ආකාරයට පැමිණිලි කිරීමට තීරණය කළ බවයි ඔහු පවසා සිටියේ.
මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විපක්ෂයේ සියලුම පක්ෂ නායකයින් සමග සාකච්ඡා කළ බවත් ඒ සඳහා සියලු දෙනාගේම අනුමැතිය හිමිවූ බවත් ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ.








