ස්වාධීන කණ්ඩායම්-දේශපාලන පක්ෂ ගොනු කළ පෙත්සම් ගැන නියෝගය ප්‍රකාශ කිරීම අද

එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා තරග කිරීමට ස්වාධීන කණ්ඩායම් සහ පිළිගත් දේශපාලන පක්ෂ ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම් කාණ්ඩ තුනක් සම්බන්ධයෙන් වන නියෝගය අද (04) දින ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය ඊයේ (03) තීරණය කළේය.

ඒ අනුව උප්පැන්න සහතිකවල සහතික පිටපත් ඉදිරිපත් කිරීම, විධිමත් ලෙස දිවුරුම ඉදිරිපත් නොකිරීම සහ උප්පැන්න සහතිකවල ඡායා පිටපත් ඉදිරිපත් කිරීම යන කරුණු මත ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනාවලට අදාළව ගොනු කරන ලද පෙත්සම් පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් මේ වන විට අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සම් ගොනු කර ඇති කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන සඳහා ඡන්ද විමසීම පැවැත්වීමට අදාළ කටයුතු ඉදිරියට කරගෙන යෑමෙන් වළකින ලෙස අදාළ තේරීම් භාර නිලධාරීන් වෙත නිකුත් කළ නියෝගයද අද (04) වන තෙක් බලපවත්වන පරිදි දීර්ඝ කිරීමට නියම කළේය.

කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන ගණනාවකට ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව පාර්ශ්ව කිහිපයක් ගොනු කළ රිට් පෙත්සම් සම්බන්ධයෙන් තෙවැනි දිනටද මූලික කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය දීර්ඝ කරන ලදි.

අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම් කැඳවන ලදි.

එහිදී මෙම පෙත්සම් කිහිපයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරු ඇතුළු නීතිඥ මඬුල්ලක් දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කළහ.

අදාළ නාමයෝජනා පත්‍ර සමඟ ඉදිරිපත් කර ඇති උප්පැන්න සහතික නිසි පරිදි සහතික නොකිරීම ඇතුළු කරුණු කිහිපයක් මත ඇතැම් නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට තේරීම් භාර නිලධාරීන් කටයුතු කර ඇති බවට එහිදී නීතිඥවරු විසින් කරුණු ඉදිරිපත් කරන ලදි.

මැතිවරණයට ඉදිරිපත් වන තරුණ අපේක්ෂකයන්ගේ වයස සහ උපත තහවුරු කිරීම සඳහා රෙජිස්ට්‍රාර්වරයා සහතික කළ උප්පැන්න සහතික පිටපත් ඉදිරිපත් නොකිරීම මත ඇතැම් නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කර ඇති බවට එහිදී කරුණු සඳහන් කෙරිණ. තමන් ඉදිරිපත් කරන ද නාම යෝජනා පත්‍ර සමඟ සාමදාන විනිශ්චයකාරවරයකු අත්සන් කරන ලද සහතික කරන ලද උප්පැන්න සහතික පිටපත් ඉදිරිපත් කර තිබුණද එය පිළිගැනීමට තේරීම් භාර නිලධාරීන් ප්‍රතික්ෂේප කර තිබූ බවට පෙත්සම්කාර පාර්ශ්වය විසින් කරුණු ඉදිරිපත් කරන ලදි.

මැතිවරණ නීතිය අනුව සහතික කළ පිටපත් ඉදිරිපත් කළ යුතු බව සඳහන් වුවද එය සහතික කළ යුත්තේ කා විසින්ද යන්න විශේෂ‍ෙයන් දක්වා නොමැති බවද නීතිඥවරු එහිදී පෙන්වා දුන්හ.

ඒ අනුව සමාදාන විනිශ්චයකාරවරයකුට, නොතාරිස්වරයකුට සහ කොන්සියුලර්වරයකුට අදාළ සහතික කිරීම් කළ හැකි බවද එහිදී නීතිඥවරු පෙන්වා දුන්හ.

එසේ තිබියදී දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයා විසින් සහතික නොකළ බව පවසමින් අදාළ ‘සහතික කළ උප්පැන්න සහතික පිටපත්’ භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම නීති විරෝධී බවට ඔවුහු කරුණු ඉදිරිපත් කළහ.

මෙහිදී අධිකරණය හමුවේ පෙනී සිටි තේරීම් භාර නිලධාරිවරයකු ඇමතූ අභියාචනාධිකරණ වැඩබලන සභාපති විනිසුරු ලෆාර් තාහීර් මහතා ප්‍රශ්න කර සිටියේ අදාළ නාමයෝජනා පත්‍ර අවසන් මොහොතේදී පරීක්ෂාවට ලක් නොකර කලින් අවස්ථාවක පරීක්ෂාවට ලක් කර අඩුපාඩු තිබේ නම් ඒවා නැවත සකස් කරන ලෙස පවසා අදාළ දේශපාලන පක්ෂ හෝ කණ්ඩායම් නියෝජිතයන් වෙත භාර දීමට යම් නීතිමය බාධාවක් තිබේද යන්නය.

මැතිවරණයකදී නාමය යෝජනා පත්‍ර භාර ගැනීම අයිතියක් වන අතර ඒවා ප්‍රතික්ෂේප කිරීම විකල්පය විය යුතු බවද විනිසුරුවරයා එහිදී පෙන්වා දුන්නේය.

දේශපාලන පක්ෂ හෝ සංවිධාන මඟින් භාර දෙන නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කළ යුතුය යන මතයේ සිට තේරීම් භාර නිලධාරීන් කටයුතු කළ යුතු නැති බවද වැඩබලන සභාපති විනිසුරුවරයා සඳහන් කළේය.

කෙසේ වුවද අවසන් අවස්ථාවේදී නාමයෝජනා පත්‍ර සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයන් ඇති කර නොගෙන කල්වේලා ඇතිව අදාළ ලිපි ලේඛන පරීක්ෂා කර කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් තේරීම් භාර නිලධාරීන් ඇතුළු මැතිවරණ නිලධාරීන් දැනුම්වත් කිරීම අත්‍යවශ්‍යයෙන්ම කළ යුතු බවද එහිදී වැඩබලන සභාපති විනිසුරුවරයා පෙන්වා දුන්නේය.

ඒ සඳහා නීතිඥ සංගමයේ සහාය ලබාගත හැකි බවද මහතා සඳහන් කළේය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා පෙන්වා දුන්නේ උප්පැන්න සහ මරණ ලියාපදිංචි කිරීමේ පනත අනුව සහතික පිටපත් නිකුත් කිරීමේ බලය රෙජිස්ට්‍රාර් සහ අතිරේක රෙජිස්ට්‍රාර් සතුවන බවය.

ඒ හැර සමාදාන විනිශ්චයකාරවරයකුට හෝ වෙනත් කිසිවකුට උප්පැන්න සහතික පිටපත් නිකුත් කළ නොහැකි බවද රජයේ නීතිඥවරයා සඳහන් කළේය.

ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල මෙම නාමයෝජනා පත්‍ර පිළිගැනීමේ හැකියාවක් තිබේද යන්න පිළිබඳව නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන දැනුම් දෙන ලෙස රජයේ නීතිඥවරයාට දැනුම් දෙමින් අධිකරණ කටයුතු මද වේලාවට කල් තැබීය.

අනතුරුව අධිකරණ කටයුතු ආරම්භ කළ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ මෙම නාමයෝජනා භාර ගැනීම සම්බන්ධයෙන් සමථයකට එළැඹීම අසීරු බවය.

මෙම ප්‍රශ්නගත කරුණු සම්බන්ධයෙන් අධිකරණ නියෝගය අනුව කටයුතු කිරීමට අපේක්ෂා කරන බවද ඒ මහතා කීය.

ඒ අනුව පෙත්සම් සම්බන්ධයෙන් තවදුරටත් කරුණු සලකා බැලීමට තීරණය කෙරිණි. උප්පැන්න සහතිකවල සහතික කළ පිටපත් සම්බන්ධ ගැටලු, සමාදාන විනිශ්චයකාරවරු සහතික කළ උප්පැන්න සහතික පිටපත් සම්බන්ධයෙන් වන ගැටලු, උප්පැන්න සහතික ඡායා පිටපත් පමණක් ඉදිරිපත් කර තිබීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7 වැනි පරිච්ඡේදයේ සඳහන් පරිදි විධිමත්ව දිවුරුම් නොදීම යන කරුණු මත ප්‍රතික්ෂේප කළ නාම යෝජනා පත්‍ර සම්බන්ධයෙන් එහිදී කරුණු සලකා බැලිණි.

ඒ අනුව මෙම පෙත්සම් සම්බන්ධයෙන් වැඩිදුර කරුණු සලකා බැලීම අද (04) දින සිදු කිරීමට විනිසුරු මඬුල්ල තීරණය කළේය.

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා තමන් ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට තේරීම් භාර නිලධාරීන් ගත් තීරණය අවලංගු කර අදාළ නාම යෝජනා පත්‍ර යළි භාරගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස මෙම පෙත්සම් මඟින් ඉල්ලා ඇත.