හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතා බන්ධනාගාර රෝහල් ගත කර නේවාසික ප්‍රතිකාර ලබාදීමට තරම් රෝගී තත්ත්වයකින් පසු නොවන බවට සාමාජිකයන් 18 දෙනකුගෙන් සමන්විත විශේෂඥ වෛද්‍ය කමිටුවක් විසින් නිර්දේශ කර ඇතැයි නීතිපතිවරයා ඊයේ (03) අභියාචනාධිකරණයට දන්වා සිටියේය.
බන්ධනාගාර රෝහලේ සිටි තමන්ව සාමාන්‍ය සිරමැදිරියට මාරු කිරීමට බන්ධනාගාර බලධාරීන් ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අදාළ විශේෂඥ වෛද්‍ය කමිටුවේ වාර්තාව ද අධිකරණය හමුවේ ඉදිරිපත් කරමින් මේ බව දැනුම් දුන්නේය.
පී. කුමාරන් රත්නම් සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවන ලදි.
එහිදී පෙත්සම්කාර දුමින්ද සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා සඳහන් කළේ සිය සේවාදායකයා වෙඩි ප්‍රහාරයකට ලක්ව හිසේ ශල්‍ය කර්මයකට භාජනය වී සිටින්නකු බවය. බන්ධනාගාර රෝහලේ නේවාසික ප්‍රතිකාර ලැබූ ඔහු මේ වනවිට ඉන් ඉවත් කර ඇති අතර ඇති රෝගී තත්ත්වය සැලකිල්ලට ගෙන ඔහු යළි බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා දැඩි විරෝධය පළ කළේය.
පෙත්සම්කරුට බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා දිය යුතු ද යන්න පිළිබඳ වෛද්‍යවරු 18 දෙනකුගෙන් සමන්විත විශේෂඥ වෛද්‍ය කමිටුවක් විසින් කරුණු විමසා බැලූ බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.
ඔහුට බන්ධනාගාර රෝහල්ගත කර නේවාසික ප්‍රතිකාර ලබාදීමට තරම් රෝගී තත්ත්වයක් නොමැති බවට එම කමිටුව විසින් නිර්දේශ කර ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නේය.
පෙත්සම්කරුට ඇති බව කියන රෝගී තත්ත්වය යම් හෙයකින් උත්සන්න වුවහොත් සුළු වේලාවකදී රෝහල් ගත කිරීමට අවශ්‍ය කරන ගිලන් රථ පහසුකම් ඇතුළු සියලු පහසුකම් පැය විසි හතර පුරාම බන්ධනාගාරය සතුව ඇති බව ඒ මහතා සඳහන් කළේය.
කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව පෙත්සම්කරුට පහසුකම් සැලසීමට යාම හේතුවෙන් සෙසු සිරකරුවන්ගේ හා රැඳවියන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට ඔහු පෙන්වා දුන්නේය.
ඒ අනුව පෙත්සම්කරුගේ මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඉල්ලා සිටියේය.
පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර කරුණු සලකා බැලීම මැයි මස 08 වැනිදා තෙක් කල් තැබීමට විනිසුරු මඬුල්ල තීරණය කළේය.
පෙත්සම සම්බන්ධයෙන් වන විරෝධතා ලිඛිතව ගොනු කිරීමට පියවර ගන්නා ලෙස වගඋත්තරකරුවන්ට නියෝග කෙරිණ.








