76 වසර ගැන පම්පෝරි නොගහා තෙල් ගැටලුවට ස්ථාවර විසඳුමක් දෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ මැදවච්චිය, පුල්එළිය දිවුල්වැව ඓතිහාසික කිරලාගල පුරාණ විහාරයට පෙරේදා (01) පැමිණි අවස්ථාවේදීය.
“තෙල් බෙදාහරින්නන් සහ රජය සමඟ ඇති අර්බුදය නිසා රටේ ජනතාව අසහනයට හා පීඩාවට පත්ව තිබෙනවා. තෙල් බෙදාහරින්නන්ගේ සංගමය සමඟ රජය ඇති කර ගත් ගිවිසුම කිසිදු සාකච්ඡාවකින් තොරව හිටිහැටියේ බැහැර කිරීම තුළ මේ වන විට තෙල් පෝලීම් මතුව තිබෙනවා.
මේ අර්බුදය නිසා විශාල පිරිසකට රැකියා අහිමි වී ආර්ථිකයට මරු පහරක් වැදී ඇතැයි ද විදේශ ආයෝජකයන් පවා රටට ඒම අධෛර්යමත් වනවා.
එම නිසා වහාම ක්‍රියාත්මක වන පරිදි මේ අර්බුදය විසඳිය යුතුයි. මින් පීඩනයට පත් වන්නේ ජනාධිපති, අගමැති හෝ මැති ඇමැතිවරුන් නොවේ, සාමාන්‍ය ජනතාවයි.
එබැවින් තෙල් බෙදාහරින්නන් සමඟ සාකච්ඡා කර මෙම ගැටලුවට වහාම විසඳුම් සැපයීම රජයේ වගකීමක්.”
රක්ෂණ ශ්‍රියන්ත, දෙව්නි ජයංගා








