පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු වැනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් කලින් පිටවීම නිසා ඇති වූ ගැටලුකාරී තත්ත්වය විසදීම සඳහා විශේෂඥ කමිටුව මඟින් සිදු කර ඇති නිර්දේශ තුන අතුරින් වඩාත් සුදුසුම යෝජනාව තෝරාගෙන වහාම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (31) විභාග කොමසාරිස් ජනරාල්වරයාට නියම කළේය. නිදහස් ලකුණු ලබා දීම, එම ප්‍රශ්න තුන කපා හැරීම සහ පළමුවැනි ප්‍රශ්න පත්‍රය සඳහා විභාගය නැවත පැවැත්වීම යන යෝජනා විශේෂඥ කමිටුව මඟින් යෝජනා කර තිබිණි. සුදුසු යෝජනාව ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව එම විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට කටයුතු කරන ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයාට නියම කෙරිණි. එලෙස පිට වූ ප්‍රශ්න සඳහා නිදහස් ලකුණු දීමට විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් ගත් තීරණය මඟින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.
මෙම ප්‍රශ්න පිටවීමේ සිද්ධියට සම්බන්ධ බව කියන ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්යක්ෂවරයකු වන අයි.ජී.එස්. ප්‍රේමතිලක නමැත්තා රුපියල් මිලියන තුනක වන්දි මුදලක් රජයට ගෙවිය යුතු බවට නියම කෙරිණි.
එසේම එම සිද්ධියට සම්බන්ධ බව කියන උපකාරක පන්ති ගුරුවරයකු වන චමින්ද කුමාර ඉලංගසේකර රුපියල් මිලියන දෙකක වන්දි මුදලක් රජයට ගෙවිය යුතු බවටත් නියම කෙරුණු අතර එම වන්දි මුදල් සති හතරකදී ගෙවිය යුතු බවටත් නියම කෙරිණි.
එම විභාගයේ පළමු වැනි ප්‍රශ්න පත්‍රය අවලංගු කර එම ප්‍රශ්න පත්‍රය සඳහා වන විභාගය නැවත පවත්වන ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයාට නියම කරන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් විභාග කර අවසන් කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ සිය තීන්දුව ප්‍රකාශ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගයන් කළේය.
පෙත්සම් විභාගයට ගත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය සහ අර්ජුන ඔබේසේකර මහතාගේ එකඟත්වයෙන් යුතු නඩු තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා විවෘත අධිකරණයේදී ප්‍රකාශයට පත් කළේය.
දින තුනක් පුරා මෙම පෙත්සම් විභාගයට ගැනීමෙන් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන බව විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා එහිදී සඳහන් කළේය.
ඉකුත් සැප්තැම්බර් මස 15 වැනිදා පැවති ශිෂ්‍යත්ව විභාගයේ පළමු වැනි ප්‍රශ්න පත්‍රයේ කලින් පිටවූ ප්‍රශ්න තුන සඳහා නිදහස් ලකුණු දීමට විභාග කොමසාරිස් ජනරාල්වරයා ගත් තීරණය විනිසුරු මඬුල්ල මඟින් බල රහිත කරන ලදි.
එලෙස නිදහස් ලකුණු දීමට විභාග කොමසාරිස් ජනරාල්වරයා ගත් තීරණය අනුමත කරමින් ඉකුත් නොවැම්බර් මස 24 වැනිදා ගනු ලැබූ කැබිනට් තීරණය ද බල රහිත කෙරිණි.
මෙම ගැටලුව විසඳීම සඳහා නියෝජ්‍ය විභාග කොමසාරිස්වරුන් තිදෙනකුගෙන් සමන්විත විශේෂඥ කමිටුව මඟින් නිර්දේශ තුනක් ඉදිරිපත් කර ඇති බව එහිදී සඳහන් කෙරිණි.
1. පිට වූ ප්‍රශ්න සඳහා නිදහස් ලකුණු ලබා දීම.
2. එම ප්‍රශ්න තුන කපා හැරීම.
3. පළමු වැනි ප්‍රශ්න පත්‍රය සඳහා විභාගය පැවැත්වීම.
එම නිර්දේශයන් වේ.
ඒ අතරින් වඩාත් සුදුසු නිර්දේශය ස්වාධීනව තෝරාගෙන ක්‍රියාත්මක කරන ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයාට නියම කෙරිණි. මින් ඉදිරියට පොදු විභාග පැවැත්වීමේදී මෙවැනි අක්‍රමිකතා සිදු නොවීමට සහ විශ්වසනීයත්වය ආරක්ෂා කිරීමට වගබලා ගන්නා ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයාට නියම කළේය.
මෙම ප්‍රශ්න පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කර ඒ පිළිබඳ වාර්තාවක් මාස තුනක් ඇතුළත අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරියට නියම කෙරිණි.
මෙම සිද්ධියට සම්බන්ධ බව කියන අයි.ජී.එස්. ප්රේමතික සහ චමින්ද කුමාර ඉලංග සේකර යන දෙදෙනා මේ සිද්ධිය සම්බන්ධයෙන් යම් අල්ලසක් ගෙන තිබේ ද යන්න පිළිබඳ විමර්ශනයක් සිදු කරන ලෙස ද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට නියම කෙරිණි. ඔවුන්ගෙන් අය කර ගන්නා වන්දි මුදල පොදු විභාග පැවැත්වීමේ ක්‍රියාවලියේ ඇති දුර්වලතා කවරේද යන්න අධ්‍යයනය සඳහා යොදා ගන්නා ලෙස ද විභාග කොමසාරිස් ජනරාල්වරයාට නියම කෙරිණි.
ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් කළ මෙම නියමයන්ට යටත්ව අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සඳහා අවසර දෙන ලදි. මෙම පෙත්සම් සඳහා වන නඩු ගාස්තු අය කර ගැනීමට පෙත්සම්කරුවන්ට හැකියාව ඇති බව ද ඒ සඳහා වන බිල්පත් ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්රාර්වරයාට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.
පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටි සිසුන් පිරිසකගේ මවුපියන් විසින් මෙම පෙත්සම් ගොනු කර තිබිණි.
විභාග කොමසාරිස් ජනරාල්වරයා, අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඇතුළු කැබිනට් මණ්ඩලය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් පෙත්සම්වල වගඋත්තරකරුවෝ වෙති.
ජනාධිපති නීතිඥවරුන් වන සාලිය පීරිස්, සංජීව ජයවර්ධන යන මහත්වරුන් ඇතුළු නීතිඥ මඬුල්ලක් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.
සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.








