මාතලේ දිස්ත්‍රික් මහ රෝහලට යාබද ඉඩමට කසළ බැහැර කිරීම නවතයි

මාතලේ දිස්ත්‍රික් මහ රෝහලට යාබද ඉඩමට මහ නගර සභාව විසින් කසළ බැහැර කිරීම ඊයේ (31) දින සිට වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට පියවර ගත් බව මාතලේ නාගරික කොමසාරිස් දිනුක බඹරදෙනිය මහතා පවසයි. මාතලේ මහ නගර සභාව විසින් මාතලේ දිස්ත්‍රික් මහ රෝහලට යාබද ඉඩමට අවිධිමත් ලෙස කසළ බැහැර කිරීම හේතුවෙන් රෝහලේ දැඩි සත්කාර ඒකකය හා ශල්‍යාගාර වසා දැමීමට සිදුවන බවට මාතලේ දිස්ත්‍රික් මහ රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුසන්ත ප්‍රනාන්දු මහතා ලිපියක් මඟින් මාතලේ ප්‍රාදේශීය සංවර්ධන කමිටුවට දැනුම් දී තිබිණි. එම තත්ත්වය පිළිබඳ මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් මාතලේ මහ නගර සභාවේ දී පැවති සාකච්ඡාවෙන් අනතුරුව ඒ මහතා එසේ ප්‍රකාශ කළේය. මෙම රැස්වීමේදී මාතලේ මහ නගර සභා ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී එම්. විස්වාන් මහතා මෙම කසළ ගැටලුවට විසඳුමක් ලෙස, නගර සභා සීමාව තුළ ව්‍යාපාරික ස්ථාන හා නිවාසවලින් දෛනිකව බැහැර කරනු ලබන කසළ බර අනුව මහ නගර සභාවට මුදල් අය කර ගැනීම තුළින් දිනකට එකතු වන කසළ ප්‍රමාණය අඩු කර හැකි බව ප්‍රකාශ කළ අතර, ඒ පිළිබඳව ජනතාවගේ එකඟතාවය පළ විය. මෙම සාකච්ඡාව සඳහා මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්ත මහත්මිය, අතිරේක දිස්ත්‍රික් ලේකම් එම්. රියල් ඩීන් මහත්මිය, මාතලේ දිස්ත්‍රික් මහ රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුසන්ත ප්‍රනාන්දු මහතා, නාගරික කොමසාරිස් දිනුක බඹරදෙණිය මහතා, මාතලේ ප්‍රධාන නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී එම්. රිස්වාන් මහතා ඇතුළු පිරිසක් එක්වූහ.