ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ 26 වන නාවික හමුදාපතිවරයා ලෙස පත්කළ වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතා ඊයේ (31) සිය ධූරයේ වැඩ භාර ගත්තේය.
හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් අභිනව නාවික හමුදාපතිවරයා වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව නාවික හමුදාපතිවරයාගේ අසිපත පිරිනැමීම සහ රාජකාරී භාරදීම නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.එහිදී අභිනව නාවික හමුදාපතිවරයා වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන ආචාර මුරයක් මඟින් ආචාරය පිරිනැමීම නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
බණ්ඩාරවෙල සාන්ත තෝමස් විද්‍යාලයේ සහ බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයකු වන වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතා, 1989 සැප්තැම්බර් මස 15 වැනි දින 19 වන ශිෂ්‍යභට නිලධාරී බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශයට එක් වී නාවික හා සාගරික විද්‍යා පීඨයෙන් මූලික පුහුණුව සාර්ථක ලෙස අවසන් කර එක්සත් රාජධානියේ ඩාට්මත් නාවික විද්‍යා පීඨය (Britannia Royal Naval College – Dartmouth UK) වෙතින් අන්තර්ජාතික මධ්‍ය නිලධාරී පුහුණු පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කර, 1991 වර්ෂයේ උප ලුතිනන්වරයකු වශයෙන් අධිකාරියට පත්ව සිය උප ලුතිනන් තාක්ෂණික පාඨමාලාව 1994 වර්ෂයේ නාවික හා සාගරික විද්‍යා පීඨය වෙතින්ද 2000 වර්ෂයේදී දිය යට මුහුදු සංග්‍රාමික දීර්ඝ පාඨමාලාව (Anti-Submarine Warfare – ASW) ඉන්දීය නාවික නෞකා වෙන්දුර්තිහී දිය යට මුහුදු සංග්‍රාමික පුහුණු පාසලෙන් සාර්ථකව හදාරා ඇත.
බංග්ලාදේශ අණ හා මාණ්ඩලික විද්‍යාලයෙන් 2009 වර්ෂයේදී අණ හා මාණ්ඩලික පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කර 2019 වර්ෂයේදී ඔස්ට්‍රේලියාවේ වොලොන්ග්ගොන්ග් විශ්වවිද්‍යාලයෙන් සමුද්‍රීය ප්‍රතිපත්ති පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද 2022 වර්ෂයේදී ජාතික ආරක්ෂක හා උපාය මාර්ගික අධ්‍යයනය පාඨමාලාව කොළඹ ජාතික ආරක්ෂක විද්‍යායතනය වෙතින් ද සාර්ථකව හදාරා ඇති අතර කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය හා ව්‍යාපාර පරිපාලන ශාස්ත්‍රපති (මානව සම්පත් කළමනාකරණය) උපාධිය ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන්ද හදාරා ඇත.
සිය වෘත්තීය ජීවිතයේ ක්‍රමානුකූලව උසස්වීම් ලබමින්, 2022 වර්ෂයේ මැයි මස 04 වැනි දින රියර් අද්මිරාල් නිලයටත්, 2024 දෙසැම්බර් මස 31 වැනි දින වයිස් අද්මිරාල් නිලයටත් උසස්වීම් ලද ඔහු, වසර 34කට අධික සිය සේවා කාලයේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විවිධ නිලතල රාශියක් දරා ඇත. ඒ අනුව, වේග ප්‍රහාරක මුර යාත්‍රාවන්හි අණභාර නිලධාරී ලෙස සහ ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා හා ආයතනයන්හි අණදෙන නිලධාරී වශයෙන්ද, නාවික හා සාගරික විද්‍යා පීඨයේ පුහුණු නිලධාරීන්ගේ උපදේශක වශයෙන් දෙවතාවක් ද, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපදේශක නිලධාරිවරයෙක් වශයෙන් ද සහ සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපදේශක කාර්ය මණ්ඩලයට අනුයුක්තව දෙවතාවක් ද, නියෝජ්‍ය අධ්යක්ෂ නාවික පුහුණු, නාවික හා සාගරික විද්‍යා පීඨයේ පුහුණු කපිතාන්, සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පුහුණු කණ්ඩායම් ප්‍රධානී, අධ්යක්ෂ නාවික පුහුණු, වැඩබලන අධ්යක්ෂ ජනරාල් පුහුණු, ගිනිකොණ නාවික විධානයේ ආඥාපති, උතුරු මැද නාවික විධානයේ ආඥාපති, උතුරු නාවික විධානයේ ආඥාපති සහ නැඟෙනහිර නාවික විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කළ වයිස් අද්මිරාල් කාංචන බානගොඩ, නාවික හමුදාපතිවරයා වශයෙන් පත්වීමට පෙර, 2024 අගෝස්තු මස 16 වැනි දින සිට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී වශයෙන් රාජකාරී කරන ලද ශ්‍රී ලංකා නාවික හමුදාවේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.
ආගමික වතාවත්වලට මුල් තැන ලබා දෙමින්,වයිස් අද්මිරාල් කාංචන බානගොඩ සිය නාවික හමුදාපති ධූරයේ රාජකාරී ඊයේ (31) උදෑසන නිල වශයෙන් ආරම්භ කෙරුණු අතර මේ අවස්ථාවට බිරිය අනුෂා බානගොඩ මහත්මිය සහ ඔවුන් දෙපළගේ දියණිය අමාවි බානගොඩ සහ පුතා වන හිමෙත් බානගොඩ ද සහභාගි වූහ.








