මහජන චීන සමූහාණ්ඩුවට අයත් මහජන විමුක්ති හමුදාවේ ඉහළම මට්ටමේ පර්යේෂණ ආයතන නියෝජිත පිරිසක් මෙරටට පැමිණි අවස්ථාවේ පාත්ෆයින්ඩර් පදනමේ නියෝජිත පිරිසක් හමුව තිබේ. දෙපාර්ශ්වය ද්විපාර්ශ්වික වැදගත් වන කරුණු ගණනාවක් සාකච්ඡා කර තිබෙන අතර බෙයිජිංහි ස්ථාපිත මහජන විමුක්ති හමුදාවේ, හමුදා නීති පද්ධති ආයතනයට සම්බන්ධ විද්‍යා ඇකඩමි පර්යේෂකයන් පිරිසක් වන මේ නියෝජිතයන් පිරිසේ ප්‍රධානියා වශයෙන් එහි ජ්‍යෙෂ්ඨ කර්නල් වැන්ග් යොනිකියොන් මහතා ක්‍රියා කරන බවද පාත්ෆයින්ඩර් පදනම පවසයි.
පාත්ෆයින්ඩර් පදනම මූලස්ථානය පිහිටි පෑලියගොඩ රිවර් පොයින්ට්හි දී මේ හමුව පවත්වා තිබෙන අතර මේ සාකච්ඡාවට සභාපති බර්නාඩ් ගුණතිලක මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ. අධ්‍යයන පර්යේෂණ නියෝජිතයන් සමඟ චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින සහයෝගිතාව ගැන සාකච්ඡා කෙරිණ.
2019 නොවැම්බර් මාසයේ දී මේ ආයතනයේ දේශපාලන අංශ නියොජිත පිරිසක් මෙරටට පැමිණි අතර එහිදී ද පාත්ෆයින්ඩර් පදනම මුණගැසුණු බව බර්නාඩ් ගුණතිලක මහතා සිහිපත් කළේය. දෙරට අතර පොදු උනන්දුවක් දක්වන විෂයන් පිළිබඳව අදහස් හුවමාරු කරගනිමින් දෙරට අතර සහයෝගිතාව වර්ධනය කරගත හැකි පැති ගැන සොයාබැලීම මේ සංචාරයේ අරමුණ බව සඳහන් කෙරිණි.
‘එක තීරයක් එක මාවතක්’ යන සංකල්පය අනුව චීන ශ්‍රී ලංකා ආරක්ෂක ආයතන හා එහි සංස්කෘතික පැති අධ්‍යයනය කර එකඟතාවක් ඇති කරගත හැකි මාතෘකා ගවේෂණය කිරීමට ඇති හැකියාව ද මෙහිදී සාකච්ඡා කර තිබෙන අතර කොවිඩ්වලින් පසු ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථීක අර්බුදය හා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අරමුණ සඳහා ඉන්දියාව, ජපානය හා ශ්‍රී ලංකාව යන රටවල් ත්රෙපාර්ශ්වික මුහුණුවරකින් අනුගමනය කළ පියවර ගැන මෙහිදී ගුණතිලක මහතා කරුණු දැක්වීය.
ඉන්දියන් සාගරයේ ආරක්ෂාව අරමුණු කරගෙන ඇති කරන ලද විද්වත් සංවාද මණ්ඩපවල ක්‍රියාකාරිත්වය හා ඉන්දියන් සාගරය ආශ්‍රිත කරුණු කෙරෙහි චීනයේ ප්‍රතිචාර සම්බන්ධයෙන් ද අදහස් හුවමාරු කරගෙන ඇත. දෙරට අතර සුහදතාව තර කරන ඒකාබද්ධ විද්වත් ශාස්ත්‍රීය සංග්‍රහයක් සකස් කර එය එළිදැක්වීමට මෙහිදී එකඟ වූ බව ද පාත්ෆයින්ඩර් පදනම කියයි.








