සංචාරකයන්ට බාධා නොවෙන්න ආරුගම්බේ ආරක්ෂාව තරකරන්න-ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා

ආරුගම්බේ ප්‍රදේශයට පැමිණෙන සංචාරකයන්ගේ නිදහසට බාධා නොවන පරිදි මෙරට ආරක්ෂාව සම්බන්ධයෙන් ඔවුන් තුළ විශ්වාසයක් ගොඩනැඟෙන පරිදි කටයුතු කරන්නැයි ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. නැ‍ෙඟ‍නහිර පළාතේ සහ විශේෂයෙන් ආරුගම්බේ ප්‍රදේශයේ ආරක්ෂාව පිළිබඳ සොයා බැලීමට ඊයේ (10) දින එහි සංචාරයක නිරත වෙමින් ආරක්ෂක ලේකම්වරයා විසින් මේ උපදෙස් දෙනු ලැබිණි.

සිදු කළ සංචාරයේදී ප්‍රදේශයේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැනට පවතින තත්ත්වය පිළිබඳ අවධානයට ලක් වූ අතර ප්‍රාදේශීය ජ්‍යෙෂ්ඨ හමුදා සහ පොලිස් නිලධාරීන් විසින් දැනට එහි ක්‍රියාත්මක ආරක්ෂක සැලැස්ම පිළිබඳ ආරක්ෂක ලේකම්වරයා දැනුම්වත් කරනු ලැබීය.

ඒ අනුව එළඹි නිගමනයන්ට අදාළව ප්‍රදේශයේ ආරක්ෂාව තවදුරටත් පවත්වා ගැනීමට මෙන්ම දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලද සංචාරක ආකර්ෂණීය ස්ථානවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ ආරක්ෂක ලේකම්වරයා විසින් අදාළ නිලධාරීන් වෙත අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය.

මෙම අවස්ථාවට ත්‍රිවිධ හමුදාවේ, විශේෂ කාර්ය බළකායේ හා පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.