මැතිවරණ ප්‍රචාරක වැඩ අද රෑ 12න් අවසන්

නොවැම්බර් 14 දා පැවැත්වෙන මහමැතිවරණයේ ප්‍රචාරක කටයුතු අද (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කෙරේ. මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වීමෙන් අනතුරුව මැතිවරණ ප්‍රචාරක කාර්යාල ද හෙට (12) වන විට ඉවත් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා

පැවැසීය. මේ වන විට අපේක්ෂකයන් ඡන්ද ප්‍රචාරණ කටයුතු සඳහා කාර්යාල පිහිටුවා ඇති කාර්යාල, ඡන්ද කොට්ඨාස මට්ටමින් පවත්වාගෙන යන කාර්යාල සියල්ල හෙට (12) මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කරගත යුතු බව කී සභාපතිවරයා හෙට (12) මධ්‍යම රාත්‍රියෙන් පසුව තබා ගන්නට හැකියාව ලැබෙන්නේ පක්ෂ සහ කණ්ඩායම් සඳහා මැතිවරණ කොට්ඨාසයට එකක් වශයෙන් පිහිටුවා තිබෙන කාර්යාල පමණක් බව ද කීවේය.

එමෙන්ම අපේක්ෂකයාගේ නි‍ෙවස තවදුරටත් කාර්යාලයක් හැටියට පවත්වාගෙන යා හැකි නමුත් එහි සැරසිල්ලක් හෝ වෙනත් කිසිදු ප්‍රචාරණ කටයුත්තක් සිදු කිරීමට හැකියාව නැතැයිද හෙතෙම කීවේය.

මේ අතර, පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශය කිරීමට පැමිණීමේ දී ඡන්ද මධ්‍යස්ථානයේ නිලධාරීන්ට ඉදිරිපත් කළ යුතු වලංගු අනන්‍යතා ලේඛන 09ක් පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාව යළි දැනුම් දී ඇති අතර එම වලංගු හැඳුනුම්පත් නොමැති නම් ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ ලබා නොදෙන බව ද එහි සඳහන් කර ඇත.

ඒ අනුව ජාතික හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය, වලංගු රියැදුරු බලපත්‍රය හෝ රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත යන ලේඛනවලින් එකක් රැගෙන යාම අනිවාර්ය වන අතර මීට අමතරව වැඩිහිටි හැඳුනුම්පත, පූජ්‍ය, පූජක හැඳුනුම්පත, ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපිය මෙන්ම කොමිෂන් සභාව නිකුත් කරනු ලබන තාවකාලික හැඳුනුම්පත හෝ ආබාධිත තැනැත්තන් සඳහා නිකුත් කරනු ලබන තාවකාලික හැඳුනුම්පත රැගෙන යාමෙන් ද ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි වන බව ද මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ දක්වා ඇත.

මෙම හැඳුනුම්පත් 09 අතරින් කවර හෝ එකක් ඉදිරිපත් නොකළහොත් ඡන්ද මධ්‍යස්ථානයේ දී ඡන්ද පත්‍රිකාවක් නිකුත් නොකරන බව ද මැතිවරණ කොමිෂන් සභාව යළි අවධාරණය කර සිටියි.

සුභාෂිණී සේනානායක