මහියංගණය ප්රදේශයේ සිට පිරිතකට වැඩම කළ එක්තරා හිමිනමක් විසින් උඩුදුම්බර උයන්වල නිවසක නවත්වා ගිය බව කියන සැකකටයුතු ජිප් රථයක් සම්බන්ධයෙන් උඩුදුම්බර පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
සැකකටයුතු වාහනයක් උඩුදුම්බර පොලිස් වසමේ උයන්වල ප්රදේශයේ නිවසක ගරාජයක නවත්වා ඇති බවට ලැබුණු දුරකතන ඇමතුමක් ඔස්සේ පරීක්ෂා කිරීමේදී නිවසේ ගරාජයේ තිබී මෙම වාහනය හමුවී ඇත.
වාහනය සම්බන්ධව නිවෙස් හිමියාගෙන් ප්රශ්න කළ විට ඔහු පවසා ඇත්තේ තමන් මෙම වාහනය සම්බන්ධව කිසිවක් නොදන්නා බවත් පිරිතකට වැඩම කළ මහියංගණය ප්රදේශයේ හිමි නමක් මීට මාස හයකට පමණ පෙර මෙම වාහනය සිය නිවසේ නවත්වා ගිය බවයි.
එම හිමිනම වාහනය රැගෙන යනතුරු තමන්ද බලා සිටි බව නිවෙස් හිමියා පොලීසියට පවසා ඇත. මෙම වාහනයේ ලියාපදිංචි අංකය මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් විමසූ විට එම අංකයම ඇති තවත් වාහනයක් කුරුණෑගල ආඳාගල ප්රදේශයේ පුද්ගලයකුගේ නමට ලියාපදිංචි වී තිබෙන බව අනාවරණය වී තිබේ.
වාහනය සම්බන්ධයෙන් උඩුදුම්බර පොලීසිය වැඩිදුර විමර්ශන අරඹා ඇත. නිවෙස් හිමියාගේ සාක්කි මත මහියංගණ ප්රදේශයේ අදාළ හිමි නමට පොලීසියට පැමිණ ප්රකාශයක් ලබාදෙන ලෙස දන්වා තිබෙන අතර එ් අනුව හිමි නම පොලිසියට ප්රකාශයක් ඊයේ (10) ලබාදී ඇත.
මෙම ජිප් රථයේ අංකය හිමි සැබෑ හිමිකරු ගැන මෙතෙක් නිශ්චිත නිගමනයට පැමිණ නැති බව පොලිසිය පවසයි. උඩුදුම්බර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.








