පාකිස්තානයේ බලුකිස්තාන ප්‍රාන්තයේ ක්වේටා නුවර දුම්රිය ස්ථානයක සිදුවූ බෝම්බ පිපිරීමකින් සිවිල් වැසියන් ඇතුළු හමුදා සෙබළුන් 26 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ක්වේටා දුම්රිය ස්ථානයේ සිට පේෂාවර් දුම්රිය ස්ථානය දක්වා දුම්රියක් ධාවනය වීමට නියමිතව තිබියදී එම බෝම්බය පිපිරී ගිය බවත්, ඉන් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. යුද හමුදා සෙබළුන් හා නිලධාරීන් ඉලක්ක කර බෝම්බ පිපිරීම සිදු කර ඇතැයි ක්වේටා පොලිසිය ප්‍රකාශ කර ඇති අතර, එහි වගකීම මෙතෙක් කිසිදු පාර්ශ්වයක් භාරගෙන නැතැයි ද වාර්තා වේ.
කෙසේ වෙතත් එය බලුකිස්තානයේ රාජ්‍ය විරෝධී ක්‍රියාකාරකම්වල නිරතව සිටින බලුකිස්තාන විප්ලවීය හමුදාව විසින් සිදු කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් විය හැකි බවට ක්වේටා පොලිසිය අනුමාන කර ඇති අතර, ඒ සඳහා පුපුරන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 6-8 ත් අතර ප්‍රමාණයක් භාවිත කර ඇතැයි මූලික පරීක්ෂණයේදී අනාවරණය වූ බව ද වාර්තා වේ.








