සූරියවැව තොරතුරු තාක්ෂණ උයන සුදු අලියෙක්-සියලු සම්පත් කැලයට යට වී ගිහින්

මහින්ද චින්තනය ප්‍රතිපත්තිය යටතේ 2014 අගෝස්තු 21 වැනිදා රුපියල් මිලියන 366කට අධික මුදලක් වැය කර ඉදිකිරීම් ආරම්භ කර තිබූ සූරියවැව තොරතුරු තාක්ෂණ උද්‍යානය මේ වන විට සුදු අලියකුව කැලයට යට වී ගිය පාළු සුසානයක් බවට පත්ව තිබේ.

ආසියාවේ පරිගණක දැනුම් කේන්ද්‍රීය මධ්‍යස්ථානයක් ලෙස රුපියල් කෝටි ගණනක් වියදම් කර මේ උද්‍යානය 2005 වසරේ පැවති රජය මඟින් ‘රුහුණුපුර යෝධ සංවර්ධන වැඩසටහන’ යටතේ සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට යාබදව ඉදිකිරීම් අරඹා ඇත. සිව්මහල් ගොඩනැඟිලි සංකීර්ණයක් ලෙස ඉදිකිරීම් කටයුතු සිදු කර ඇති මෙහි කොන්ක්‍රීට් කුලුනු හා බාල්ක සවි කිරීම සිදු කර ඇති අතර, ඒවාට සවි කර ඇති යකඩ කූරු පවා මේ වන විට දිරාපත් වෙමින් පවතී. රුපියල් කෝටි ගණන් මුදල් වියදම් කර ඉදිකිරීම් අතරමඟ නතර කර ඇති මේ ව්‍යාපෘතියෙන් මෙරට පරිගණක දැනුම් ක්ෂේත්‍රයට අත් වූ කිසිදු ප්‍රයෝජනයක් නැතැයි ප්‍රදේශවාසීහු පවසති. එම ගොඩනැඟිලිවලින් වෙනත් කිසිදු ආකාරයකින් ප්‍රයෝජනයක් අත්ව නැති බවත්, ගොඩනැඟිලි සමූහය නටබුන් බවට පත්ව කැලයට යට වී තිබෙනු දුටු ඕනෑම අයකුට එය වැටහෙන බව ජනතාව පවසති.

මේ ගොඩනැඟිලි ඉදිකිරීම් සිදු කළ සමයේ එවකට කොන්ත්‍රාත් කටයුතු භාරව සිටි සමාගම් අද වන විට සොයාගැනීමට පවා නොහැකි වී ඇති අතර, වැය කළ මුදලින් රුපියල් කෝටි ගණනක් කාබාසිනියා කර ඇති බව පැහැදිලි වන්නේයැයි අවට ගම්වාසීහු පවසති. 2015 වසරේදී යහ පාලන රජය බලයට පත් වීමෙන් පසුව හම්බන්තොට සිදු කළ සංවර්ධන කටයුතු සියල්ල වැඩ නතර කරදැමීමේ ප්‍රතිඵලයක් ලෙස සූරියවැව තොරතුරු තාක්ෂණ ආයතනයේද ඉදිකිරීම් කටයුතු තවදුරටත් සිදු නොකර එය අත්හැරදැමීමට එවකට සිටි පාලකයන්ද ක්‍රියා කළ බව ප්‍රදේශයේ ජනතාව පවසති.

රුපියල් කෝටි ගණන් මුදල් වියදම් කර සිව්මහල් ගොඩනැඟිල්ලක් ඉදිකිරීම් කටයුතු කර එය මහ කැලයක් මැද අත්හැරදමා තිබීම ජාතික අපරාධයක් හෙයින් කවර හෝ කටයුත්තක් සඳහා මේ ස්ථානය ප්‍රයෝජනයට ගන්නා ලෙස ප්‍රදේශවාසීහු නව රජයෙන් ජනතාව ඉල්ලා සිටිති.