ස්පාඤ්ඤයේ ගංවතුර ඛේදවාචකයට රජයට දොස් කියමින් ලක්ෂ සංඛ්‍යාත වැලෙන්සියානු ජනතාව වීදි බසී

ස්පාඤ්ඤයේ වැලෙන්සියා ප්‍රාන්තයේ පසුගියදා සිදුවූ ගංවතුර ඛේදවාචකයට ප්‍රාන්ත ප්‍රධානියා වගකිව යුතු බවත්, ඔහු වහාම ධුරයෙන් ඉවත් වන ලෙස බල කරමින් ලක්ෂ සංඛ්‍යාත ජනතාව එම ප්‍රාන්තයේ දැවැන්ත උද්ඝෝෂණයක නිරතව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පුද්ගලයන් 200කට අධික පිරිසකට මරු කැඳවමින් ද, තවත් සියයකට ආසන්න පිරිසක් අතුරදන් කරමින් ද සුනාමියක් හා සමානව ගලා ගිය ගංවතුර තත්ත්වය ඊට පෙර ජනතාවට දැනුම් දීමට බලධාරීන් අසමත්වීම හේතුවෙන් ජනතාව දැඩි කෝපයට පත්ව සිටින බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. විරෝධතා අතරතුර වැලෙන්සියා නගරාධිපති කාර්යාල සංකීර්ණයට ජනතාව මඩ ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ද වාර්තා වේ. විරෝධතාව පාලනය කිරීමට උත්සාහ ගත් පොලිස් නිලධාරීන් හා ජනතාව අතර ගැටුම් කිහිපයක් ද සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

ගංවතුර තත්ත්වය උද්ගත වූ අවස්ථාවේදී බලධාරින් ඉතා දුර්වල ආකාරයෙන් කටයුතු කළ බවත්, පූර්ව අනතුරු ඇඟවීමක් හෝ සිදු කළේ නම් ජීවිත හානිය සැලකිය යුතු අයුරින් වළක්වා ගැනීමට ඉඩ තිබූ බවත් විරෝධතාවේ නිරත වූ ජනතාව ප්‍රකාශ කළ බව ද වාර්තා වේ. ගංවතුරට හසුවීමෙන් ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ නිවාස, දේපළ හා රථවාහන මුළුමනින්ම විනාශ වූ අතර, එම ප්‍රාන්තය නැවත යථා තත්ත්වයට පත් කිරීමට ප්‍රාන්ත රජය දැඩි උත්සාහයක නිරත වන බව ද වාර්තා වේ.