රාජ්‍ය සේවය පිළිබඳ ජනතා විශ්වාසය යළි ගොඩනැඟීම මාලිමාවේ අපේක්ෂාවයි-අගමැතිනි හරිනි අමරසූරිය

ජාතික ජන බලවේගයේ බලාපොරොත්තුව නව රජයක් යටතේ රාජ්‍ය අංශය නිසි පරිදි සකස් කර, ජනතාවගේ නැති වී ගිය විශ්වාසය යළි ගොඩනැඟීම බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවසුවාය. ඇය මේ බව ප්‍රකාශ කළේ කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලේදී ඊයේ (10) පැවති ජන හමුවක් අමතමිනි.

ශ්‍රී ලංකා වාප්පු සේවා සංගමය සහ ශ්‍රී ලංකා ආනයන සහ අපනයන ආයතන ඒකාබද්ධව ජාතක ජන බලවේගයේ අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වූ ජන හමුවේදී අග්‍රාමාත්‍යවරිය එසේ පැවසුවාය.

ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තරග වදින අපේක්ෂකයින් වෙනුවෙන් ශ්‍රී ලංකා වාප්පු සේවා සංගමය විසින් පවත්වනු ලැබූ මේ ජනහමුවට ජාතික ජන බලවේගයේ බැංකු කටයුතු සහ මූල්‍ය කටයුතු පිළිබඳ කැඳුම්කරු සමීර අල්විස්, චතුරංග අබේසේකර, වෛද්‍ය රිස්වි සාලි සහ විරායි කේලි බල්තසාර් යන අපේක්ෂක අපේක්ෂකාවෝ සහභාගි වූහ.

මෙහිදී වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කරමින් අග්‍රාමාත්‍යවරිය මෙසේද ප්‍ර‍කාශ කළාය:

“අපි හදලා තියෙන ජාතික ජන බලවේගයේ ඇති ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පිළිබිඹු වන්නේ පුනරුද යුගයක් තුළ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ගොඩනඟන්නේ කොහොමද කියලා. ඒ වගේම නව තාක්ෂණය භාවිතා කරමින් සියලු මහජනතාවට ප්‍රයෝජනවත් වන විදිහට අවශ්‍ය තොරතුරු සහ සේවාවන් සලසාගන්නේ කොහොමද කියලා. අපේ රටේ විශ්වාසය කියන දේ බිඳවැටිලා තියෙන මේ වගේ අවස්ථාවක, දේශපාලඥයා ගැන විශ්වාසයක් දැන් වෙනකොට නැත්තටම නැතිවෙලා ගිහිල්ලා. පාර්ලිමේන්තුව ගැනත් ජනතාවට සත පහක විශ්වාසයක් නෑ. අපේ සමාජය තුළ තියෙන දුර්ලභ ගුණාංග තමයි විශ්වාසය කියන්නේ. අපි රජයේ ආයතනයකට ගියාම අපිට විශ්වසනීය සේවාවක් ලැබෙයි කියලා අපි හිතන්නෑ. අපි කරන්නෙ දන්න කවුරු හරි හොයාගන්න එක. මොකද හරි ක්‍රියාමාර්ගයක ගියොත් වැඩේ කෙරෙන්නේ නැති නිසා. දන්න එක්කෙනෙක් එක්ක ගිහිල්ලා හරි වැඩේ කරගන්න තමයි අපි බලන්නේ. අපේ බලාපොරොත්තුව නව රජයක් යටතේ මේ ක්‍රියාවලිය නිසි පරිදි සකස් කරලා ජනතාවගේ නැතිවෙලා ගිය විශ්වාසය යළි ගොඩනැඟීමයි.”

කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු අපේක්ෂයන්ද අදහස් දැක්වූ මේ ජනහමුවට ආනයන අපනයන ක්ෂේත්‍රයන්හි නිරත ව්‍යාපාරිකයෝ බොහෝ පිරිසක් සහභාගි වී සිටියහ.