මධ්‍යම අධිවේගි මාර්ගයේ පොතුහැර සිට රඹුක්කන දක්වා වූ තුන්වැනි කොටසේ ඉදි කිරීම් කටයුතු 2026 වසරේ දෙසැම්බර් 31 දා වන විට සම්පූර්ණයෙන්ම අවසන් කළ යුතු බවට ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය විජිත හේරත් මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත.
මේ මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදු වන ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අමාත්‍ය විජිත හේරත් මහතා පෙරේදා (9) නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර එහිදි අදාළ නිලධාරීන්ට මේ උපදෙස් දී ඇත. මධ්‍යම අධිවේගි මාර්ගයේ පොතුහැර සිට රඹුක්කන දක්වා වූ තුන්වැනි අදියරේ ඉදි කිරීම් කටයුතු කඩිනමින් සිදු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද උපදෙස් දී ඇති අතර, ඒ අනුව මාර්ගයේ ඉදි කිරීම් කටයුතු සඳහා දැනට පවතින බාධක හැකි තාක් අවම කර ඉදිකිරීම් කටයුතු ලබන වසරේ දෙසැම්බර් වන විට අවසන් කරන ලෙසට නිලධාරීන්ට උපදෙස් දී ඇත.
මේ ව්‍යාපෘතිය 2023 වසරේ ජූලි 3 දා ආරම්භ කර ඇත. ගලගෙදර දක්වා වූ සම්පූර්ණ ව්‍යාපෘතිය සඳහා රු. බිලියන 210ක මුදලක් ඇස්තමේන්තු කර ඇති අතර, පොතුහැර සිට ගලගෙදර දක්වා වූ කොටස කි.මී. 32.4කි.
මේ නිරීක්ෂණ චාරිකාව සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති පී. පාස්කරන්, අධ්යක්ෂ ජනරාල් එස්.එම්.පී. සූරියබණ්ඩාර, ව්‍යාපෘති අධ්යක්ෂ අනුරාධ හෙට්ටිආරච්චි මහත්වරුන්ද එක්වී ඇත.