පොසිල නොවන ඉන්ධන භාවිතයෙන් වසර 2030 දී ඉන්දියාවෙන් ගිගාවොට් 500ක ඉලක්කයක්

වසර 2030 වන විට පොසිල නොවන ඉන්ධන භාවිතයෙන් ගිගා වොට් 500ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට ඉන්දියාව සැලසුම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ අනුව ගල් අඟුරු වැනි පොසිල ඉන්ධන භාවිතය හේතුවෙන් ගෝලීය වශයෙන් උද්ගත වී ඇති දේශගුණික විපර්යාස මැඬ පැවැත්වීම සඳහා ආසියාවේ පෙරමුණ ගන්නා පළමු රට බවට ඉන්දියාව පත්වනු ඇතැයි ද වාර්තා වේ. පසුගිය ජූනි මාසය වන විට ඉන්දියාවේ සමස්ත පුනර්ජනනීය බලශක්තිය ගිගාවොට් 148 සම්පූර්ණ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ඉන්දියාවේ පුනර්ජනනීය බලශක්ති උත්පාදනය මේ වසරේ පළමු භාගයේදී සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගත් බවත්, ගිගාවොට් 70ක ටෙන්ඩර් ප්‍රකාශයට පත් කළ එම කාල සීමාවේ තරගකාරී ටෙන්ඩර් මඟින් පුනර්ජනනීය බලශක්ති ගබඩා කිරීමේ ව්‍යාපෘති පුළුල් කිරිමට ද ඉන්දියාවට හැකිවූ බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය. ඒ අනුව මේ වසරේ පළමු කාර්තුවේදී ගිගාවොට් 26ක් ද, දෙවැනි කාර්තුවේදී ගිගාවොට් 18 කට වැඩි ප්‍රමාණයක් ද උත්පාදනය කිරීමට හැකියාව ලැබී ඇතැයි වාර්තා වේ.