ආරක්‍ෂක ලේකම්වරයා දීඝවාපියේ නිරීක්ෂණයක

දීඝවාපි මහසෑ රදුන්ගේ දැනට සිදු කෙරෙමින් පවතින ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ සොයා බැලීමේ අරමුණින් දීඝවාපි චෛත්‍යය ප්‍රතිසංස්කරණය කිරීමේ භාරකාර මණ්ඩලයේ භාර කර්තෘ සහ ‘දීඝවාපිය අරුණ භාරය’ පළමුවන භාරකරු ආරක්‍ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා, පෙරේදා (9) ඓතිහාසික දීඝවාපිය පුදබිමෙහි නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.

එහිදී පළමුව දීඝවාපි මහා දාගැබෙහි ප්‍රතිසංස්කරණ කටයුතු උදෙසා ගඩොළු සකස් කරන ස්ථාන නිරීක්‍ෂණය කළ ආරක්‍ෂක ලේකම්වරයා, එහි කටයුතු කඩිනමින් හා ක්‍රමවත්ව සිදු කිරීමට අවශ්‍ය උපදෙස් දුන්නේය.

දීඝවාපිය විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මහඔය සෝභිත ස්වාමීන් වහන්සේ බැහැදැකීමෙන් අනතුරුව දීඝවාපි චෛත්‍ය රාජයාණන් වහන්සේ වැඳපුදාගත් ආරක්‍ෂක ලේකම්වරයා, ඉදි වෙමින් පවතින චෛත්‍යයේ ගඩොළක් තැන්පත් කිරීමටද අමතක නොකළේය. එහිදී ඉදිකිරීම් කටයුතුවල වත්මන් ප්‍රගතිය හා ඉදිරි වැඩ කටයුතු පිළිබඳ ව්‍යාපෘතිය හා සම්බන්ධ නිලධාරීන් සමඟ සාකච්ඡා කළ ආරක්‍ෂක ලේකම්වරයා, ඉදි කිරීම් සම්බන්ධයෙන් ඔවුන්ට අවශ්‍ය උපදෙස් දුන්නේය. පූජා භූමියේ අභිනවයෙන් ඉදි කළ ධාතු මන්දිරය වන්දනා කිරීමෙන් පසු, ‘අතිපූජ්‍ය දරණාගම කුසලධම්ම නාහිමි අනුස්මරණ සන්ථාගාර ශාලාව’, දාන ශාලාව සහ ඉදි වෙමින් පවතින බුද්ධ මන්දිරය ද නිරීක්‍ෂණය කළේය. ආරක්‍ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සහ මහා සංඝරත්නයේ මෙන්ම, ව්‍යාපෘතිය හා සම්බන්ධ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන්, ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධයෙන් දැනට පවතින ගැටලු පිළිබඳ සාකච්ඡාවක් පවත්වනු ලැබූ අතර, ඒ අනුව එළඹුණු නිගමනයන්ට අනුව වඩාත් ඵලදායි ඉදිරි සැලසුම් සඳහා ව්‍යාපෘති නිලධාරීන්ට අවශ්‍ය තාක්‍ෂණික උපදෙස් දීමද සිදු කෙරිණි.

දීඝවාපිය විහාරස්ථානයේ විහාරාධිපති මහඔය සෝභිත නාහිමි, ආරක්‍ෂක අමාත්‍යංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල්, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, පොලිස් හා විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ව්‍යාපෘති භාර නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් වූහ.