වීසා නැතිව රැඳී සිටි චීන ජාතිකයෝ 20ක් ලැගුම්හලකදී අත්අඩංගුවට

වීසා නොමැතිව රැඳී සිටිමින් අයථා ලෙස අන්තර්ජාලය හරහා මුදල් ඉපයූ බවට සැක කරන චීන ජාතිකයන් 20ක් පානදුර උතුර ගොරකාන ධම්මානන්ද මාවතේ ලැගුම්හලක සිටියදී අත්අඩංගුවට ගැනීමට පානදුර උතුර පොලිසිය සමත් වී ඇත.

වැටලීමත් සමඟම එම ස්ථානයේ සිටි තවත් චීන ජාතිකයන් 18ක් පලා ගොස් ඇත.

අත්අඩංගුවට ගත් කිසිදු සැකකාර චීන ජාතිකයකු සතුව විදේශ ගමන් බලපත්‍ර නොතිබූ බවත් පොලිසිය සඳහන් කරයි.

එම ස්ථානයේ තිබී විවිධ වර්ගයේ ස්මාර්ට් ජංගම දුරකතන 432ක් , ජංගම දුරකතන චාජර් කැට 133ක්, යු.එස්.බී. කේබල් 340ක්, ලැප්්ටොප් පරිගණක, යු.එස්.බී. චාජර් කෝඩ්, පවර් කෝඩ්, රවුටර්, මොනිටර්, ඝනක යන්ත්‍ර, යු.පී.එස්. 3 ක් , වීඩියෝ කැමරා ආදී අන්තර්ජාල පහසුකම් සඳහා යොදාගන්නා උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන ඇත.

පානදුර උතුර, ගොරකාන ධම්මානන්ද මාවතේ ලැගුම්හලක් තුළ සැකකටයුතු විදේශිකයන් පිරිසක් රැඳී සිටින බවට පානදුර උතුර පොලිසියට අනුයුක්ත බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරියකුට ලද තොරතුරුවලට අනුව පානදුර උතුර පොලිසියේ නිලධාරීන් සහ පානදුර කොට්ඨාස අපරාධ අංශයේ නිලධාරීන් කණ්ඩායමක් පෙරේදා (8) රාත්‍රි එම ස්ථානය වටලා සැකකාර චීන ජාතිකයන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

එම ස්ථානය වැටලීමත් සමඟම කලබල වූ එහි සිටි චීන ජාතිකයන්ගෙන් පලා ගිය පුද්ගලයන් සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු ඊයේ (09) දහවල් වන විටත් අනාවරණ වී නොතිබූ බව උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.

අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් සන්තකයේ විදේශ ගමන් බලපත්‍ර ද නොතිබූ බවත් ඔවුන් නීත්‍යනුකූල නොවන අන්දමින් මෙරට රැඳී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ විවිධ පුද්ගලයන් රවටා ඔවුන් සතු ගිණුම්වලින් මුදල් අයථා ලෙස උපයා ගන්නා බවට බොහෝදුරට සැක කළ හැකි යැයි උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.

පිළියන්දල ප්‍රදේශයේ පදිංචි ලැගුම්හලේ හිමිකරු වෙත මාසික කුලී මුදල රුපියල් ලක්ෂ 20 බැගින් කුලී මුදලක් ලබාදෙන බවට ගිවිසුමක් මඟින් පොරොන්දු වී ඒ ලබාගෙන ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකාර චීන ජාතිකයන් වීසා නොමැති චෝදනාව මත මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර අයථා ලෙස අන්තර්ජාලය භාවිත කරමින් මුදල් ඉපැයීම සිදු කළේ කෙසේද යන්න හා විදේශ ගමන් බලපත්‍ර සම්බන්ධයෙන් ප්‍රකාශ නොකිරීම පිළිබඳ පානදුර උතුර පොලිසිය සහ පානදුර කොට්ඨාස අපරාධ විමර්ශනාංශය මඟින් ඒකාබද්ධව විමර්ශන කටයුතු කිරීමට නියමිත බව උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.